duminda-silva-bribed-dematagoda-ruwan-to-bail

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'දෙමටගොඩ රුවන්' නමැත්තාට ඇප ලබා දීමට මැදිහත් වීම උදෙසා රුපියල් ලක්ෂ පනහක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා සැකකරුවකු ලෙස නම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.




අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් මේ බව දැනුම් දුන් අතර, අදාළ සිදුවීමට සම්බන්ධයෙන් ඔවුන් විසින් දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින මොහොමඩ් මොහිදීන් සප්රාස් නවාස් නමැති පුද්ගලයා එළඹෙන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

ආර්. දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය දැරූ සමයේදී ඔහුගේ පූර්ණ දැනුවත්භාවය මත අදාළ සැකකරුවන් විසින් මෙම රුපියල් ලක්ෂ පනහක අල්ලස් මුදල ලබාගෙන ඇති බවට අල්ලස් කොමිසම සිදු කළ විමර්ශනවලදී මේ වන විටත් අනාවරණය වී තිබේ.




මීට සමගාමීව තවත් රුපියල් ලක්ෂ සියයක අල්ලස් මුදලක් ලබා ගත් වෙනත් සැකකරුවකුද මෙම සිදුවීමට සම්බන්ධ වී ඇති නමුත්, මේ වන විට ඔහු ජීවතුන් අතර නොමැති බවද විමර්ශන නිලධාරීන් විසින් අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් අලුතින් සැකකරුවකු ලෙස නම් කරනු ලැබූ ආර්. දුමින්ද සිල්වා මහතාට එරෙහිව පුළුල් විමර්ශනයක් සිදු කර ඒ පිළිබඳව කඩිනමින් අධිකරණය වෙත වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අල්ලස් කොමිසමට නියෝග කර ඇත.