රජයේ උද්දච්චකම සහ හීනමානය හේතුවෙන් රට තවදුරටත් අගාධය කරා ගමන් කරමින් පවතින බවත්, කොතරම් යහපත් උපදෙස් ලබා දුන්නද ඒවා පිළිගැනීමට ආණ්ඩුව සූදානම් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ කෑගල්ල ආසනයේ සංවිධායක ප්‍රියංක සේනානායක මහතාගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
වර්තමානය වන විට ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී ඇති අතර, ඉන්ධන කෝටාවක් ලෙස නැවතත් QR කේතය හඳුන්වා දීම හරහා පාරිභෝජනය සීමා වී ජනතා කලකිරීම සහ ආර්ථික අර්බුද තීව්‍ර වනු ඇති බවට හෙතෙම අනතුරු ඇඟවීය. හෝර්මූස් සමුද්‍ර සන්ධියේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී පෙර දැනුම්දීම් කරමින් විධිමත් වැඩපිළිවෙළක් ඉල්ලා සිටි අවස්ථාවේදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එය උපහාසයට ලක් කළ බව ද විපක්ෂ නායකවරයා සිහිපත් කළේය. කිසිදු බලපෑමක් රටට නොමැති බව විදේශ ඇමතිවරයා පැවසුවද, යථාර්ථයේදී එසේ නොවන බව QR කේතය යළි කරළියට පැමිණීම හරහා ඔප්පු වී ඇති බවත්, සමගි ජන බලවේගය කිසිවිටෙකත් ජනතා අසහනයෙන් දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු නොකරන බවත් ඔහු අවධාරණය කළේය.
ආණ්ඩුවේ ක්‍රියාකලාපය සැමවිටම ප්‍රමාද වී සිදුවන්නක් බව පෙන්වා දුන් ප්‍රේමදාස මහතා, ඇමරිකාව විසින් රුසියාවට පැනවූ සම්බාධක සඳහා දින තිහක විරාමයක් ලබා දුන් අවස්ථාවේදී ඊට මැදිහත් වී ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන ලෙස කළ යෝජනාවද ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ බව පැවසීය. කෙසේ වෙතත්, අර්බුදය උත්සන්න වී දින ගණනාවක් ගතවීමෙන් පසු රුසියානු තානාපතිවරයා හමුවීමට රජය කටයුතු කර තිබීමෙන් ඔවුන්ගේ අකාර්යක්ෂමතාව පැහැදිලි වන බව ඔහු පෙන්වා දුන්නේය. ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කරන විට ඇතිවිය හැකි යුදමය අවදානම පිළිබඳව පවා ආණ්ඩුවට පෙර දැක්මක් නොතිබුණු බව ද ඔහු සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජයට නිසි රාජ්‍ය පාලනයක් පිළිබඳ අවබෝධයක් නොමැති බවත්, කිසිදු පෙර සූදානමකින් හෝ ක්‍රමෝපායකින් තොරව ඉබ්බන්ගේ ගමනින් රට පාලනය කරමින් සමස්ත ජනතාවම මුළා කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම්වල ඇති අහිතකර කොන්දේසි වෙනස් කරන ලෙස කළ ඉල්ලීම් මෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවන ලෙස කළ යෝජනාවද ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව ඔහු කියා සිටියේය. මෙවැනි අදූරදර්ශී පාලනයක් තුළ ජනතාව මුළුමනින්ම අගතියට පත්වන බවත්, ආණ්ඩුව දන්නේ අඩුපාඩු පෙන්වා දෙන විට සමාජ මාධ්‍ය හරහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පමණක් බවත් හෙතෙම පැවසීය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ පවා රජය බාල ගල් අඟුරු ගෙන්වා ඇති බවට චෝදනා කළ ප්‍රේමදාස මහතා, ඒ හේතුවෙන් ඊයේ දිනයේදී ජනනය කළ යුතු විදුලි ප්‍රමාණය මෙගාවොට් 135කින් අඩුවී ඇති බව දත්ත සහිතව පෙන්වා දුන්නේය. බලාගාර සඳහා අවශ්‍ය විදුලිය නිපදවීමට නොහැකි වීමෙන් ඉන්ධන බලාගාර වෙත යොමුවීමට සිදුව ඇති අතර, මෙම ගල් අඟුරු වංචාවේ බර අවසානයේ විදුලි පාරිභෝගිකයා මත පැටවෙන බව ඔහු කීය. මීට අමතරව බාල ඖෂධ රටට ගෙන ඒම මෙන්ම ඉදිරියේදී ගොවීන්ගේ පොහොර සඳහාද QR කේතයක් හඳුන්වා දෙනු ඇත්දැයි බියක් පවතින බවත්, පරිසර හානිය හා ජාතික ආරක්ෂාව ඇතුළු සියලු කරුණු සම්බන්ධයෙන් ජනතාවට සත්‍ය හෙළිදරව් කරන බවත්, මෙම දූෂිත හා අකාර්යක්ෂම පාලනයට එරෙහිව ජනතාව පෙළගැසිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
කාන්තා ආර්තව දරිද්‍රතාවය පිළිබඳව කතා කළ අවස්ථාවේදී එයට මඩ ගැසූ රජය අද වන විට එහි අවශ්‍යතාවය පිළිගෙන ඇති බවත්, කොවිඩ් සමයේදී විපක්ෂය පැවසූ සත්‍ය කරුණු පසුව ඔවුන්ට පිළිගැනීමට සිදුවූ බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය. බොරුව, කයිවාරුව සහ රඟපෑම මත පදනම් වූ මෙම රජය දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළිගැනීම පසෙකලා රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු බව ඔහු අවධාරණය කළේය. අතීතයේදී තමන් වීරයන් යැයි කියාගත් නායකයින් පවා ජනතා බලය හමුවේ පරාජය වී ගෙදර ගිය බව ආණ්ඩුව සිහි තබාගත යුතු බව පැවසූ ඒ මහතා, මිනිසා ජීවත් කරවීමේ පරම යුතුකම සහ වගකීම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සැමවිටම සූදානම් බව වැඩිදුරටත් කියා සිටියේය.

