
දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් කාන්තාවන්ගේ රන් මාල කඩාගන්නා තම පුත්‍රයා විසින් ලබාදෙන එම රන් භාණ්ඩ උකස් කර ලක්ෂ ගණනින් මුදල් ලබාගැනීම සහ එම මුදල්වලින් පුත්‍රයාට මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පහසුකම් සැලසීමේ චෝදනාව මත පනස් තුන් හැවිරිදි මවක පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 13 වැනිදා උතුරු කළුතර ප්‍රදේශයේදී මෙම සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත.
යතුරුපැදියකින් ගමන් කරමින් මහමග යන තරුණියන්ගේ සහ කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑම ඇගේ පුත්‍රයා විසින් සිදු කර තිබේ.මෙම අපරාධ ජාලය අනාවරණය වී ඇත්තේ වෙන්නප්පුව, තඹරවිල ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දහඅට හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියකගේ රන් මාලයක් කඩා ගැනීමට සැකකාර තරුණයා උත්සාහ කළ අවස්ථාවේදීය. එහිදී ප්‍රදේශයේ තරුණයෙකු විසින් ඔහුව අල්ලා පොලිසියට භාර දී ඇති අතර, එම අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. උතුරු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු, මීට පෙරද රන්මාල කැඩීමේ සිද්ධීන් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවී මෑතකදී අධිකරණය මගින් ඇප මත මුදාහැර සිටි අයෙකු බව පොලිසිය විසින් තහවුරු කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, තමන් විසින් කඩාගන්නා රන්මාල තම මව අතට පත් කරන බවත්, ඇය විසින් ඒවා උකස් කර ලබාගන්නා මුදලින් තමාට මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා අවශ්‍ය මුදල් වරින් වර ලබාදෙන බවත් ඔහු විසින් පොලිසියට හෙළිකර තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගත් මවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී, පුත්‍රයා විසින් ගෙනවිත් දුන් රන්මාල උකස් කළ බව කියන මධ්‍යස්ථාන පහක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇත. මේ ආකාරයට උකස් කර ඇති රන්මාල දහයක් පමණ සොයාගැනීම සඳහා පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙන අතර, රඳවා තබාගැනීමේ නියෝග යටතේ සිටින සැකකාර තරුණයාගෙන් පොලිසිය විසින් වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටියි.