warning-of-toxic-acid-rain-after-iran-fuel-depot-attack

ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයේ ඉන්ධන ගබඩා, පිරිපහදු සහ ඛනිජ තෙල් පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාර මාලාවකින් පසු එරට සිවිල් වැසියන්ට විෂ සහිත වර්ෂාවක් පිළිබඳව ඉරාන රතු අඩසඳ සමාජය (Iranian Red Crescent Society) විසින් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. දින නවයක් පුරා උත්සන්න වී ඇති මෙම යුදමය තත්ත්වයත් සමග ටෙහෙරානය ඇතුළු ප්‍රධාන නගර රැසක බලශක්ති යටිතල පහසුකම් විනාශ වී ඇති අතර, ගල්ෆ් කලාපීය රාජ්‍යයන් ඉලක්ක කරමින් ඉරානය ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

ඉන්ධන ගිනිගැනීම හේතුවෙන් මේ වන විටත් ඝන කළු පැහැති දුමාරයකින් ටෙහෙරානය ඇතුළු ප්‍රදේශ ගණනාවක් වැසී ගොස් තිබේ.




මෙම දැවැන්ත පිපිරීම් සහ ගිනිගැනීම් හේතුවෙන් වායුගෝලයට එක්වන හයිඩ්‍රොකාබන, සල්ෆර් සංයෝග සහ අනෙකුත් දහන අතුරු ඵල වර්ෂාව සමග මිශ්‍ර වීමෙන් මෙම විෂ සහිත අම්ල වැසි ඇතිවන බව බලධාරීහු පෙන්වා දෙති. මෙලෙස අපවිත්‍ර වූ වැසි ජලය සම මත පතිත වීමෙන් රසායනික පිළිස්සුම් ඇතිවිය හැකි බවත්, ආශ්වාස කිරීමෙන් පෙනහළුවලට බරපතල හානි සිදුවිය හැකි බවත් රතු අඩසඳ සමාජය අවධාරණය කරයි. වායු හා ජල දූෂණය පිළිබඳව ජනතාව තුළ දැඩි බියක් ජනිත කරමින්, ටෙහෙරාන් නගරයට තෙල් සහිත කළු පැහැති වර්ෂාවක් පතිත වී ඇති බවට ප්‍රදේශවාසීන් සහ නිරීක්ෂකයින් විසින් දැනටමත් වාර්තා කරනු ලැබ ඇත.

ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඉරාන රතු අඩසඳ සමාජය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පිපිරීම්වලින් පසු වර්ෂාව පවතින අවස්ථාවලදී කිසිඳු හේතුවක් මත නිවාසවලින් පිටතට නොයන ලෙසයි. යම් හෙයකින් එළිමහනේ සිටියදී වර්ෂාවට මුහුණ දීමට සිදුවුවහොත් ගස් යටට යාමෙන් වළකින ලෙසත්, වහාම කොන්ක්‍රීට් හෝ ලෝහමය වහලක් සහිත ආරක්ෂිත ස්ථානයකට යන ලෙසත් ඔවුන් උපදෙස් දී තිබේ. එසේම යම් පුද්ගලයෙකු මෙම විෂ වර්ෂාවට නිරාවරණය වුවහොත්, අදාළ ස්ථානය පිරිමැදීමෙන් වැළකී වහාම ගලායන සිසිල් ජලයෙන් සම සෝදා හරින ලෙසත්, තෙත් වූ ඇඳුම් වේගයෙන් මාරු කරන ලෙසත් වැඩිදුරටත් දැනුම් දී ඇත.