
කාන්තාවකට අයත් මෝටර් රථයක ඉන්ධන ලබා ගැනීම සඳහා වන කිව්.ආර්. (QR) කේතයේ රහසිගත තොරතුරු වංචනික ලෙස ලබාගෙන භාවිත කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (25) නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටින තිස් හැවිරිදි පුද්ගලයෙකි.පොලිස් විමර්ශන හරහා අනාවරණය වී ඇති ආකාරයට, මෙම සැකකරු මීට පෙර අදාළ පැමිණිලිකාර කාන්තාවගේ රියදුරෙකු ලෙස සේවය කර ඇති අයෙකි. එමෙන්ම ඇය විසින් මෙම නව මෝටර් රථය මිලදී ගන්නා අවස්ථාවේදී එය පරීක්ෂා කර බැලීමට සහ තෝරාගැනීමට ද ඔහු සිය සහාය ලබා දී තිබේ.
මෙම අපරාධය අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව සිය නව මෝටර් රථය සඳහා ඉන්ධන කෝටාව ලබා ගැනීමේ අරමුණින් කිව්.ආර්. කේතය සක්‍රීය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීය. එය සක්‍රීය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇය 1919 කෙටි අංකයට මේ පිළිබඳව පැමිණිලි කර ඇති අතර, පසුව ඩිජිටල් අමාත්‍යාංශය විසින් එම පැමිණිල්ල වැඩිදුර විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත යොමු කර ඇත.
එහිදී සිදු කරන ලද පරීක්ෂණවලට අනුව තහවුරු වී ඇත්තේ, සැකකරු විසින් අදාළ මෝටර් රථයේ චැසි අංකය ඇතුළු තොරතුරු නීතිවිරෝධී ලෙස යොදාගනිමින් ව්‍යාජ ලෙස කේතයක් නිර්මාණය කරගෙන ඇති බවයි. ඔහු වෘත්තියෙන් කුලී රථ රියදුරෙකු වන අතර, සිය කුලී රථයේ ධාවන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට මෙම ව්‍යාජ කේතය භාවිත කරමින් පිළියන්දල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගෙන ඇති බව ද පොලිසිය විසින් තවදුරටත් තහවුරු කරගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් මත, පරිගණක අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරිනී චන්දිමා අරුමප්පෙරුම මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම විමර්ශන කටයුතු සිදු කෙරේ. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න, පොලිස් පරීක්ෂක ගයාශ්‍රී සහ උප පොලිස් පරීක්ෂක විනෝද් කුමාර යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

