a-pastor-was-killed-in-a-school-bus-three-wheeler-accident-in-hanwella

හංවැල්ල, වනාහගොඩ ප්‍රදේශයේදී පාසල් බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් ත්‍රීරෝද රථය පදවාගෙන ගිය දේවගැතිවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල, හොන්නන්තර ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ මියගොස් ඇති බව හංවැල්ල පොලිසිය තහවුරු කරයි.




පොලිස් විමර්ශනවලට අනුව මෙම අනතුර සිදුව ඇත්තේ මියගිය දේවගැතිවරයා තවත් පුද්ගලයෙකු සමඟ හයිලෙවල් මාර්ගය ඔස්සේ අවිස්සාවේල්ල දෙසට ගමන් කරමින් සිටියදීය. ඒ අවස්ථාවේදී අවිස්සාවේල්ලේ සිට කොළඹ දෙසට පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයේ ඔවුන් ගමන් කළ ත්‍රීරෝද රථය ගැටී ඇත. ගැටුමේ ප්‍රබලත්වය හේතුවෙන් ත්‍රීරෝද රථයේ හැඬලය රියදුරුගේ පපුව ප්‍රදේශය පසාරු කරගෙන ගොස් ඇති අතර, ඔහු සමඟ ගමන් කළ අනෙක් පුද්ගලයාද බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සහ සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කරනු ලැබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්. එස්. දිනෙත් මහතා විසින් සිදු කරන ලදී. එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා මත පදනම්ව, ගෙල සහ පපුව ප්‍රදේශයට සිදු වූ මාරාන්තික මොටබල තුවාල මෙම මරණයට හේතුව බවට හදිසි මරණ පරීක්ෂකවරයා විසින් නිගමනය කර ඇත. මෙම රිය අනතුර සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියේ පොලිස් කොස්තාපල් (92840) දිසානායක මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

a-pastor-was-killed-in-a-school-bus-three-wheeler-accident-in-hanwella