ඉරානයට එරෙහිව ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාරයන් චීනය විසින් දැඩි ලෙස හෙළා දැක ඇති අතර, වර්ධනය වන ගැටුම් සහ මිත්‍රශීලී නොවන විදේශීය පාලන තන්ත්‍රයන් පෙරළා දැමීමේ වොෂින්ටනයේ උත්සාහය පිළිබඳව කනස්සල්ල පළ කරමින් වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු වෙනම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රහාරය සහ ඝාතනය චීනය තරයේ ප්‍රතික්ෂේප කරමින් හෙළා දකින බවයි.
මාර්තු 1 වන දින රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ පැවති දුරකථන සංවාදයකදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ප්‍රකාශ කළේ, ස්වෛරී රාජ්‍යයක නායකයෙකු ඝාතනය කිරීම මෙන්ම පාලන තන්ත්‍රය වෙනස් කිරීමට පෙළඹවීම කිසිසේත්ම පිළිගත නොහැකි ක්‍රියාවක් බවයි.වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන ක්‍රියාවලියක් අතරතුර මෙම ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයන් එල්ල වීම අනුමත කළ නොහැකි බවත් එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. පර්සියානු බොක්ක කලාපය පුරා මෙම සටන් ව්‍යාප්ත වීම හරහා මැදපෙරදිග කලාපය භයානක අගාධයකට ඇද වැටිය හැකි බවට බීජිං පාලනය දැඩි කනස්සල්ලෙන් පසුවන බව විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, හමුදා මෙහෙයුම් වහාම නතර කර සංවාද සහ සාකච්ඡා වෙත යොමු වන ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතියකින් තොරව සිදුකරන ඒකපාර්ශ්වික හමුදා ක්‍රියාමාර්ගයන්ට එරෙහි වන ලෙසත් ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඉරානයේ සමීපතම හවුල්කරුවන් දෙදෙනෙකු වන චීනය සහ රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදී ද ඇමරිකාව සහ ඊශ්‍රායලය විවේචනයට ලක් කළහ.
ඉරානය සහ චීනය අතර පවතින්නේ 2016 වසරේදී චීන ජනාධිපති ෂී ජින්පින් ගේ අවසන් ඉරාන සංචාරයේදී ස්ථාපිත කරන ලද "පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක්" මත පදනම් වූ සබඳතාවකි. ජාත්‍යන්තර වශයෙන් වඩ වඩාත් හුදෙකලා වෙමින් පවතින ටෙහෙරාන පාලනය 2019 වසරේදී චීනයේ තීරය සහ මාවත (Belt and Road) වැඩසටහනට ද, 2023 දී ෂැංහයි සහයෝගිතා සංවිධානය නැමති බහුපාර්ශ්වික කණ්ඩායමට ද, ඉන් වසරකට පසු චීනය ආරම්භක සාමාජිකයෙකු ලෙස කටයුතු කරන BRICS අන්තර් රාජ්‍ය සංවිධානයට ද එක්විය. දැඩි ඇමරිකානු සම්බාධක මධ්‍යයේ ඉරානයට ආර්ථික ජීව රුධිරය සපයමින් වට්ටම් සහිතව ඉරාන බොරතෙල් මිලදී ගන්නා විශාලතම ගැනුම්කරු වන්නේ ද චීනයයි. 2025 වසරේදී ටෙහෙරානයේ තෙල් අපනයනයෙන් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ චීනය විසින් වන නමුත්, එය බීජිං පාලනය මුහුදු මාර්ගයෙන් ගෙන්වූ තෙල් ආනයනයන්ගෙන් නියෝජනය කළේ සියයට 13.4 ක ප්‍රතිශතයක් පමණි. කෙසේ වෙතත්, මෙම මෑතකාලීන ප්‍රහාරයන් බලශක්ති සුරක්ෂිතතාවයට ඉතා විශාල බලපෑමක් එල්ල කරමින් චීනයට ඉරානයේ සහ මැදපෙරදිග පවතින ආර්ථික අවශ්‍යතාවලට පහර දෙනු ඇති බව සිංහුවා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපායමාර්ග පිළිබඳ මධ්‍යස්ථානයේ සහකාර පර්යේෂක ආචාර්ය ජෝඩි වෙන් පවසයි. විශේෂයෙන්ම, ඉරානය විසින් වසා දමා ඇති බවට පවසන තීරණාත්මක නාවික ගමනාගමන ස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාම හරහා ගල්ෆ් කලාපයෙන් චීනයට ලැබෙන තෙල් සැපයුමට සහ බලශක්ති මිල ගණන් වලට බලපෑමක් එල්ල වනු ඇතැයි ඇය පැවසුවාය. චීන රේගු වාර්තා වලට අනුව 2024 වසරේදී චීනය තමන් පරිභෝජනය කළ තෙල් වලින් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර ඉන් සියයට 44 ක් පමණ මැදපෙරදිගින් ගෙන්වා ඇත. එහෙත් 2025 වසරේදී චීනය සිය බොරතෙල් ආනයනය සියයට 4.9 කින් ඉහළ නංවමින් සංචිත වැඩි කරගෙන ඇති බැවින් මුහුණදීමට යම්කිසි ආරක්ෂිත සංචිතයක් ඔවුන් සතුව ඇතැයි විශ්වාස කෙරේ.
ඉරානය වෙනුවෙන් පෙනී සිටිමින් ෂෙල් වෙඩි ප්‍රහාරයන් නතර කරන ලෙස චීනය ඉල්ලා සිටියද, බීජිං පාලනය ඉරාන පාලන තන්ත්‍රයට හමුදාමය සහයක් ලබා දීමට තරම් දුරදිග යනු ඇතැයි විශ්ලේෂකයෝ අපේක්ෂා නොකරති. බීජිං හි රෙන්මින් විශ්වවිද්‍යාලයේ මැදපෙරදිග සහ අප්‍රිකානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය කුයි ෂූජුන් පෙන්වා දෙන්නේ ඉරානයට මිලිටරි සහ ආරක්ෂක සහාය ලබා දීම චීන විදේශ ප්‍රතිපත්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමක් බව ඔහු විශ්වාස කරන බවයි. ඒ වෙනුවට බීජිං පාලනය ප්‍රධාන වශයෙන් විදේශ ප්‍රතිපත්ති හරහා ප්‍රතිචාර දක්වනු ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන තුළදී රුසියාව සහ අනෙකුත් රටවල් සමඟ එක්ව ඉරාන අර්බුදයට සාමකාමී විසඳුමක් ඉල්ලා සිටිනු ඇතැයි ඔහු පැවසීය. ඇමරිකාවේ ස්ටිම්සන් මධ්‍යස්ථානයේ ආචාර්ය යුන් සුන් පවසන පරිදි, මෙම ගැටුම දිගුකාලීන යුද්ධයක් බවට පත් වුවහොත් චීනය විසින් ඉරානයට මිලිටරි නොවන හෝ ද්විත්ව භාවිත සහාය ලබා දිය හැකි නමුත් ඊට වඩා වැඩි මැදිහත්වීමක් සිදු නොකරනු ඇත. චීන විදේශ ප්‍රතිපත්ති පිළිබඳ මෙම විශේෂඥවරිය වැඩිදුරටත් අවධාරණය කළේ චීනය හමුදාමය සහයක් ලබා නොදෙන බවයි. ට්‍රම්ප් පාලනය සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යන බැවින් ඉරානය වෙනුවෙන් චීනය ඇමරිකාව සමඟ ගැටුමකට නොයනු ඇති බව ඇයගේ අදහසයි. වසර නවයකට පසු ඇමරිකානු ජනාධිපතිවරයෙකු බීජිං හි නිරත වන පළමු සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති ට්‍රම්ප් මාර්තු 31 සිට අප්‍රේල් 2 දක්වා චීනයේ සංචාරය කිරීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත. ට්‍රම්ප් සහ ෂී ජින්පින් අවසන් වරට පසුගිය ඔක්තෝබර් මාසයේ බුසාන් හිදී හමුවූ අතර එහිදී ඔවුන් මේ වසරේ අවසන් වීමට නියමිත වෙළඳ එකඟතාවයකට එළඹුණි.
මෙම ඉරාන අර්බුදයේදී චීනය දකින එක් ප්‍රධාන කරුණක් වන්නේ 2026 වසරේ මුලදී ඇමරිකානු විශේෂ බලකායන් විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කිරීම සඳහා ඇමරිකාවට රැගෙන යාමේ හමුදා මෙහෙයුමේ දෝංකාරයන් මෙහිද දක්නට ලැබීමයි. තමන් සතුරු යැයි සලකන හෝ වෛර කරන ජාතීන් ඉලක්ක කර ගනිමින් පාලන තන්ත්‍රයන් වෙනස් කිරීම සඳහා ඇමරිකාව සැත්කම් ආකාරයේ නිශ්චිත ප්‍රහාර (surgical strikes) එල්ල කරනු ඇතැයි යන බියක් චීනයට නියත වශයෙන්ම පවතින බව මහාචාර්ය කුයි පෙන්වා දෙයි. මෙය ඇමරිකානු විරෝධී ජාතීන්ට එරෙහිව භාවිතා කරන සාමාන්‍ය උපක්‍රමයක් බවට පත්විය හැකි අතර, එය චීනය කිසිසේත්ම දැකීමට අකමැති තත්ත්වයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. නන්යැං තාක්ෂණික විශ්වවිද්‍යාලයේ චීන විදේශ ප්‍රතිපත්ති පිළිබඳ පර්යේෂණ කරන සහකාර මහාචාර්ය ඩිලන් ලෝ ප්‍රකාශ කරන්නේ, ඇමරිකාව සහ ට්‍රම්ප් හුදෙක් තර්ජන සහ බොරු රඟපෑම් පමණක් සිදු නොකරන බව මෙම සිදුවීම් ද්විත්වය හරහාම චීනය උගන්නා එක් පාඩමක් වනු ඇති බවයි. ඇමරිකානු අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා තමන් සතු සැලකිය යුතු ඇමරිකානු බලය භාවිතා කිරීමට ඔහු සූදානම් බව, නිවැරදිව හෝ වැරදි ලෙස, ඔහු (ට්‍රම්ප්) නැවත නැවතත් පෙන්නුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
(The Straits Times ඇසුරිනි)