හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අයත් ප්‍රධාන ලෝකාන්තයේ දී අනාරක්ෂිත අයුරින් සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට උත්සාහ කළ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් අඩි පනහක පමණ ප්‍රපාතයකට ඇද වැටීමෙන් පසු ආරක්ෂිතව මුදාගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබේ. යාපනය ප්‍රදේශයේ පදිංචි විසිතුන් හැවිරිදි මෙම තරුණිය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සිය මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා එහි ගිය අවස්ථාවේදීය.
තවත් සිසු සිසුවියන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ අදාළ දිනයේ උදෑසන නවයට පමණ මෙම පිරිස ලෝකාන්තය නැරඹීමට පැමිණ ඇත. එහිදී ප්‍රපාතයේ අද්දරට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී සමබරතාවය ගිලිහී පහළට වැටුණු මෙම වෛද්‍ය ශිෂ්‍යාව, ප්‍රපාතයේ වූ ගසක අත්තක එල්ලී අනාරක්ෂිත ලෙස රැඳී සිට තිබේ.
සිසුවිය අත්තක එල්ලී දැඩි අවදානම් සහගත තත්ත්වයක පසුවන අයුරු දුටු ඔවුන් රැගෙන ආ වාහනයේ රියදුරු ලෙස කටයුතු කළ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි ෆ්‍රැන්සිස් හෙවත් 'පොඩි මල්ලි' නැමැත්තා සිය ජීවිත අවදානම ද නොතකා වහාම ක්‍රියාත්මක වී ඇත. ඔහු කඩිනමින් ප්‍රපාතයට බැස අත්තෙහි එල්ලී සිටි සිසුවියව ඉන් මුදවාගෙන බෑවුමේ පිහිටි ගලක් මත ආරක්ෂිතව වාඩි කරවීමට පියවර ගෙන තිබේ. අනතුරුව යුද හමුදාව ඇතුළු සහන කණ්ඩායම් එම ස්ථානයට ළඟා වන තෙක් පැයකට ආසන්න කාලයක් ඇයව ආරක්ෂිතව රඳවාගෙන සිටීමට මෙම රියදුරා දැක්වූ නිර්භීත ක්‍රියාකලාපය මේ වනවිට බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් හරහා පට්ටිපොළ පොලිසිය, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෝගය ඉල්ලා සිටීමෙන් පසු පුළුල් මුදවාගැනීමේ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කෙරිණි. ඒ අනුව නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ කොමාන්ඩෝ භටයින්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, පට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා පැය ගණනාවකට පසු මෙම තරුණිය නිරුපද්‍රිතව ගොඩගැනීමට සමත් වූ බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ කළමනාකරු මංජුල මොනරතැන්න මහතා ප්‍රකාශ කළේය. මුදාගත් සිසුවිය වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා වහාම නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.


