2-liters-a-day-is-not-enough-to-go-on-a-deadly-fast-on-tuesday---tricycle-chairman

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ නැව් ගමනාගමනයට බාධා එල්ල වීම හේතුවෙන් රජය විසින් හඳුන්වා දී ඇති ඉන්ධන කෝටා ක්‍රමය මඟින් ත්‍රීරෝද රථ රියදුරන්ට ලබා දී ඇති ඉන්ධන ප්‍රමාණය ඔවුන්ගේ ජීවිකාව ගෙන යාමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ජාතික ටැක්සි ඇප් ත්‍රීරෝද වෘත්තිකයන්ගේ එකමුතුව පවසයි. එහි සභාපති ජෙස්මින් ලංකා මහතා පෙන්වා දෙන්නේ, ධනවතුන් විසින් බැරල් ගණනින් ඉන්ධන රැස්කර තබාගැනීම වැළැක්වීම සඳහා රජය ගත් මෙම කෝටා තීරණය අගය කළ ද, වෘත්තීය රියදුරන් සඳහා සතියකට ලබා දී ඇති ලීටර 15ක සීමාව ඔවුන් දැඩි ආර්ථික අර්බුදයකට ඇද දමා ඇති බවයි.




පික්මී, ඌබර්, හෙලගෝ වැනි මගී ප්‍රවාහන යෙදුම් භාවිත කරමින් ධාවනය වන ත්‍රීරෝද රථයකට දෛනිකව ලීටර අටක හෝ දහයක ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වේ. නව කෝටා ක්‍රමය යටතේ දිනකට ලැබෙන්නේ ලීටර දෙකකට ආසන්න ප්‍රමාණයක් වන අතර, ඉන් ධාවනය කළ හැක්කේ කිලෝමීටර 50ක පමණ උපරිම දුරකි. ඉන් මගීන් ප්‍රවාහනය සඳහා යොදාගත හැක්කේ කිලෝමීටර 30ක පමණ දුරක් වන බැවින්, යෙදුම් හරහා ලැබෙන රුපියල් 70ක පමණ උපරිම ගාස්තුව යටතේ රියදුරෙකුගේ දෛනික ආදායම රුපියල් 2100ක් දක්වා පහත වැටේ. එම මුදලින් සියයට 15ක කොමිස් මුදලක් අදාළ ආයතන වෙත ගෙවූ පසු රියදුරාට ඉතිරි වන්නේ රුපියල් 1800කට ආසන්න මුදලක් බවත්, එම මුදලින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළු දෛනික ජීවන වියදම පියවා ගැනීම කිසිසේත්ම කළ නොහැකි බවත් සභාපතිවරයා අවධාරණය කරයි.

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවත්, තවත් මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවත් ඛනිජ තෙල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති පසුබිමක, වෘත්තීය ත්‍රීරෝද රථ රියදුරන් සඳහා දිනකට අවම වශයෙන් ඉන්ධන ලීටර 5ක් වත් ලබා දෙන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ඒ අනුව සිය ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා සතියකට අවම වශයෙන් ඉන්ධන ලීටර 35ක කෝටාවක් හෝ ලබා දීම අත්‍යවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති. මෙම ඉල්ලීම ඉටු නොවුණහොත්, මේ වන විට රුපියල් 60ත් 65ත් අතර පවතින කිලෝමීටරයක ධාවන ගාස්තුව රුපියල් 500 දක්වා ඉහළ දැමීමට රියදුරන්ට සිදුවන බවත්, එයින් දෛනිකව ත්‍රීරෝද රථ භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත මගීන් දැඩි අපහසුතාවයකට පත්වන බවත් හෙතෙම අනතුරු අඟවයි.




ඉන්ධන කෝටා ක්‍රමයත් සමඟම ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව කලුකඩ ජාවාරම් සහ විවිධ අක්‍රමිකතා නිර්මාණය වීමේ අවදානමක් පවතින බවද මෙහිදී අවධාරණය කෙරිණි. පෙර අවස්ථාවලදී මෙන් පිරවුම්හල් සේවකයින්ට රුපියල් 500ක් හෝ 1000ක් වැනි අල්ලසක් ලබා දී QR කේතය මඟහැර වාහනවලට ඉන්ධන ලබාගැනීම මෙන්ම, පිරවුම්හල් හිමියන් විසින් බවුසර් පිටින් වෙනත් ව්‍යාපාරික ස්ථාන වෙත ඉන්ධන අලෙවි කිරීමේ ජාවාරම් වළක්වා ගැනීමට රජය වහාම පියවර ගත යුතු බවට සංගමය පවසයි. එසේ නොමැති වුවහොත්, ඉන්ධන හිඟයේ සැබෑ වින්දිතයන් බවට දුප්පත් වෘත්තීය රියදුරන් පත්වනු ඇති අතර කලුකඩ ජාවාරම්කරුවන්ට විශාල වාසියක් අත්වනු ඇත.

වර්තමාන රජය බලයට පත් කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් පිරිසක් ලෙස රජය අපහසුතාවයට පත් කිරීම තම අරමුණ නොවන බව පවසන ජාතික ටැක්සි ඇප් ත්‍රීරෝද වෘත්තිකයන්ගේ එකමුතුව, තම ජීවත් වීමේ අයිතිය තහවුරු කරන ලෙස බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, තම සාධාරණ ඉල්ලීම් කෙරෙහි රජය කඩිනමින් අවධානය යොමු කර නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, අඟහරුවාදා දිනය වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවත්, ඒ හරහා සමස්ත ත්‍රීරෝද රථ ධාවනයම අඩපණ වී පාරවල් අවහිර වනු ඇති බවත් ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.