americas-airports-call-in-security-forces

ධවල මන්දිරයේ දේශසීමා ප්‍රධානී ටොම් හෝමන් ඉරිදා තහවුරු කළේ, කාර්යබහුල සංචාරක සමයක් තුළ මගීන්ට මුහුණ දීමට සිදුවී ඇති දිගු පෝලිම් සහ පීඩාකාරී තත්ත්වයන් සමනය කිරීමේ අරමුණින් ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) නියෝජිතයින් සඳුදා සිට එක්සත් ජනපද ගුවන්තොටුපළවල් වෙත අනුයුක්ත කරන බවයි.




ජනාධිපති ට්‍රම්ප් විසින් සෙනසුරාදා මෙම පියවර නිවේදනය කරන ලද්දේ ප්‍රවාහන ආරක්ෂක පරිපාලනය (TSA) ද ඇතුළත් වන ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා අරමුදල් සපයන ගිවිසුමකට එකඟ වීමට කොන්ග්‍රස් ප්‍රජාතන්ත්‍රවාදීන්ට බලපෑම් කිරීමේ තර්ජනයක් සහ ආක්‍රමණශීලී මෙහෙයුමක් වශයෙනි. මින් පෙර කිසිදා නොදුටු විරූ ආකාරයේ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ යටතේ රටට ඇතුළු වී සිටින සියලුම නීතිවිරෝධී සංක්‍රමණිකයින් වහාම අත්අඩංගුවට ගැනීම ද සිදුවනු ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

කෙසේ වෙතත්, අර්ධ වශයෙන් රජයේ කටයුතු අක්‍රිය වීමක් (partial shutdown) හේතුවෙන් වැටුප් නොමැතිව සේවය කරන දහස් ගණනක් වූ ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරීන්ට සහාය වීම සඳහා තම ආයතනය විසින් සැලසුම් සකස් කරමින් පවතින බව සීඑන්එන් (CNN) නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී හෝමන් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව, මගී පෝලිම් ඉක්මනින් ඉදිරියට ගෙනයාමට TSA නිලධාරීන්ට සහාය වීම ඔවුන්ගේ මූලික අරමුණ වී තිබේ.




නියෝජිතයින් අනුයුක්ත කිරීමට ඇත්තේ පැය 24 කටත් අඩු කාලයක් වුවද, ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු පාලන අධිකාරිය විසින් තවමත් තහවුරු කර නොමැත. හෝමන් මහතා පෙන්වා දුන්නේ, ඔවුන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ පැය තුනක පමණ දැඩි තදබදයක් පවතින ගුවන්තොටුපළවල් සඳහා බවයි. එසේම, කොපමණ නියෝජිතයින් පිරිසක්, කෙතරම් ඉක්මනින් සහ කුමන ස්ථානවලට අනුයුක්ත කරන්නේද යන්න පිළිබඳව ආයතන ප්‍රධානීන් තවමත් සාකච්ඡා කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

දැනටමත් ගුවන්තොටුපළ පරිශ්‍රයන්හි සේවයේ නියුතු ICE නියෝජිතයින්ට මගී පිටවීම් සහ වෙනත් අමතර ස්ථාන ආවරණය කළ හැකි බවත්, ඒ හරහා TSA සේවකයින්ට ඔවුන්ගේ විශේෂිත රාජකාරි වන ආරක්ෂක පරීක්ෂණ සඳහා වැඩි කාලයක් යෙදවීමට හැකිවනු ඇති බවත් හෝමන් මහතා පැහැදිලි කළේය. මෙය හුදෙක් විශේෂිත නිපුණතා අවශ්‍ය නොවන ස්ථානවල රාජකාරි ආවරණය කරමින් ගුවන්තොටුපළ ආරක්ෂක ආයතනයට ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීමට සහාය වීමේ පියවරක් පමණක් බව ඔහු තහවුරු කළේය.



මේ අතර, නිව්යෝර්ක් හි ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත සහ සුළුතර නායක හකීම් ජෙෆ්රීස් ඉරිදා දින ජනාධිපතිවරයාගේ මෙම තීරණය දැඩි ලෙස විවේචනයට ලක් කළේය. පසුගිය ජනවාරි මාසයේදී මිනියාපොලිස් නගරයේදී ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු ඝාතනය වීමේ සිදුවීම සිහිපත් කරමින් ඔහු ප්‍රකාශ කළේ, ඇමරිකානු ජනතාවට කිසිසේත්ම අවශ්‍ය නොවන දෙයක් නම්, නිසි පුහුණුවක් නොමැති ICE නියෝජිතයින් ගුවන්තොටුපළ තුළට යොදවා මගීන්ට කෲර ලෙස සැලකීමට හෝ ඔවුන්ව ඝාතනය කිරීමට ඉඩ සැලසීම බවයි.