දිස්ත්‍රික් ලේකම්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය සේවයේ ඉහළ පෙළේ තනතුරු 381 ක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට පමණක් දැරිය හැකි වන පරිදි සීමා කරමින් නිකුත් කර තිබූ පරිපාලන සේවා ව්‍යවස්ථාව බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබූ අදාළ ව්‍යවස්ථාව හරහා සෙසු රාජ්‍ය සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීරණය කරමින් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.
මෙලෙස අහෝසි කරනු ලැබුවේ 2013 වසරේ දෙසැම්බර් මස 23 වැනි දින අංක 1840/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා රාජ්‍ය සේවා කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන ලද පරිපාලන සේවා ව්‍යවස්ථාවයි. එමගින් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරුන් වැනි තනතුරු සඳහා පත්කිරීමේදී පරිපාලන සේවා නිලධාරීන්ට පමණක් අවස්ථාව ලබාදීම හේතුවෙන් වගඋත්තරකාර රාජ්‍ය සේවා කොමිසම විසින් අනෙකුත් සේවාවන් පහත් මට්ටමකට ඇදදමා ඇති බව අධිකරණයේ නිගමනය විය.
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය සහ ආයුර්වේද වෛද්‍ය සේවය නියෝජනය කරන ඩී. මන්ත්‍රීආරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හය දෙනෙකු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබූ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සහ රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයින් නම් කර තිබුණි. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ විනිසුරු යසන්ත කෝදාගොඩ, දිලීප් නවාස් සහ කුමුදිනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා කරුණු දැක්වූ අතර, නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය. අදාළ ගැසට් නිවේදනය බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පරිපාලන සේවයේ ඉහළ තනතුරු සඳහා නිලධාරීන් පත්කිරීමට අදාළව රජයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කර නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස රාජ්‍ය සේවා කොමිසමට නියෝග කළ අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීම නීතිපතිවරයා වෙත පවරන ලදී. මීට අමතරව පෙත්සම්කරුවන්ට අදාළ නඩු ගාස්තු ගෙවන ලෙසද අධිකරණය විසින් රජයට නියම කෙරිණි.