ඉන්දියාවේ සැඟව සිටි මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් 'පොඩි ලැසී' පසුගිය 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මුම්බායි නුවර සිට ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සිදු කළ නිල සංචාරය අතරතුර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද විශේෂ රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම භාරදීම සිදු කර තිබේ.
එහිදී, ඉන්දියාවේ රැඳී සිටින ප්‍රබල අපරාධකරුවන් දොළොස් දෙනෙකු මෙරටට ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර, ඒ අනුව නඩු කටයුතු අවසන් වූ වහාම පොඩි ලැසී මෙරටට භාර දීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර ඇත. ඉතිරි අපරාධකරුවන් එකොළොස් දෙනා ද නුදුරේදී ම ශ්‍රී ලංකාවට භාර දීමට නියමිත බව සඳහන් වේ. මෙරට පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බොහෝ අපරාධකරුවන් මේ වන විට විදේශගතව සිටින අතර, ඔවුන් සිය මූල්‍ය බලය යොදාගනිමින් දේශීයව කුලී ඝාතකයන් යොදවා අපරාධ සිදු කරති. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොලීසිය ජාත්‍යන්තර රතු නිවේදන මෙන්ම විවිධ රටවල ආරක්ෂක අංශ සමඟ පවත්වන සෘජු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් වේගවත් කර ඇත.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිවේදී සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පෙන්වා දෙන පරිදි, 2024 වසරේ සිට මේ දක්වා සංවිධානාත්මක අපරාධකරුවන් 29 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති අතර, ඉන් 14 දෙනෙකුම රතු නිවේදන නොමැතිව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත පමණක් ගෙන්වාගත් අය වෙති. තවදුරටත් අපරාධකරුවන් 89 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇති අතර, ඔවුන් ද මෙම වසර තුළ මෙරටට ගෙන්වා ගැනීම පොලීසියේ අරමුණ වී තිබේ. කඩවත ද්විත්ව ඝාතන සැකකරුවෙකු බහරේන් රාජ්‍යයෙන් ද, නාරාහේන්පිට ප්‍රදේශයේ පාතාල සාමාජිකයෙකු ඉන්දියාවෙන් ද මෙලෙස රතු නිවේදන නොමැතිව මෑතකදී මෙරටට ගෙන්වා ගෙන ඇත.
පොඩි ලැසී 2024 වසරේ දෙසැම්බර් මස 9 වැනිදා අධිකරණය මගින් ඇප මත නිදහස් වීමෙන් පසු සිය නීතිඥවරයෙකුගේ මෝටර් රථයකින් ආරක්ෂිතව පිටව ගොස්, පසුව මන්නාරමෙන් බෝට්ටුවක් මගින් ඉන්දියාවේ තමිල්නාඩුවට පලා ගොස් තිබුණි.
ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා තිබියදීත්, ඉන්දීය ජාවාරම්කරුවන් හරහා ව්‍යාජ හැඳුනුම්පතක් සකසා ගනිමින් ඔහු මෙම පලායාම සිදු කර ඇත. බොහෝ අපරාධකරුවන් තමිල්නාඩුවේ සැඟව සිටියද, ඔහු සිය ආරක්ෂාව වෙනුවෙන් මුම්බායි නගරය වෙත ගොස් එහි රාත්‍රී සමාජශාලා ආශ්‍රිතව කාලය ගත කර තිබේ. මීට පෙරද, සිය ජීවිතාරක්ෂාව පතා වසර කිහිපයක්ම අධිකරණයෙන් ඇප නියම වී තිබියදීත් ඇප මුදල් තැන්පත් නොකර හිතාමතාම බන්ධනාගාරයේ රැඳී සිටීමේ උපක්‍රමයක් ද ඔහු විසින් අනුගමනය කර තිබුණි. එලෙස කල් මරමින් සිට සුදුසු අවස්ථාව පැමිණි විගස ඔහු විදෙස්ගත වීමට කටයුතු කර ඇත.
ඔහුගේ මුම්බායි සැඟවුණු ජීවිතය අනපේක්ෂිත ලෙස අවසන් වූයේ 2025 ජනවාරි 16 වැනිදා ප්‍රසිද්ධ බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන්ගේ නිවසට කිසියම් පුද්ගලයෙකු ඇතුළු වී ඔහුට පිහියකින් පහර දීමේ ආන්දෝලනාත්මක සිදුවීමත් සමගිනි. මෙම සිදුවීම මුල්කරගෙන මුම්බායි පොලීසිය විසින් නගරය පුරා සිදු කළ දැවැන්ත සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් සිය ගණනක් සමඟ පොඩි ලැසී ද අත්අඩංගුවට පත් විය.
ඔහු සතුව තමිල්නාඩු හැඳුනුම්පතක් තිබුණද, දෙමළ භාෂාව කතා කිරීමට නොහැකි වීම සහ සිය අසීමිත මුදල් භාවිතය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සිදු කළ දැඩි ප්‍රශ්න කිරීම්වලදී තමා ශ්‍රී ලාංකිකයෙකු බව ඔහුට පිළිගැනීමට සිදු විය. ව්‍යාජ හැඳුනුම්පත් භාවිතය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ඔහුට එරෙහිව නඩු විභාගයක් පැවති බැවින්, ඉන්දීය බලධාරීන් ඔහුව වහාම මෙරටට භාර නොදුන් අතර එම නීතිමය කටයුතු අවසන් වූ පසුව මෙම භාරදීම සිදු කෙරිණි. කිඹුලාඇළ ගුණා, ලඩියා, බුම්මා ඇතුළු තවත් ප්‍රබල ලාංකික අපරාධකරුවන් විස්සකට අධික පිරිසක් මේ වන විටත් ඉන්දීය ආරක්ෂක අංශ භාරයේ පසුවෙති.
පොඩි ලැසීගේ අපරාධ ඉතිහාසය ආරම්භ වන්නේ 2008 වසරේ නොවැම්බර් 9 වැනිදා තෙල්වත්ත සුනාමි ස්මාරකය අසලදී සිය පියා වන අරුමාහන්දි වසන්ත නොහොත් 'පැන්නා' වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමත් සමගිනි. පියාගේ මරණයෙන් පසුව පළිගැනීමේ චේතනාවෙන් අපරාධ ලෝකයට පිවිසි ඔහු, පියාගේ හත්වැනි දින දානමය පුණ්‍යකර්මය දා ඊට සම්බන්ධ වූ ව්‍යාපාරිකයෙකු ඝාතනය කළේය. අනතුරුව 2011 වසරේදී පියාගේ සැබෑ ඝාතකයා වූ ජනිත් නිශාන්තට වෙඩි තැබීමට උත්සාහ කිරීමෙන් පසු ඩුබායි රාජ්‍යයට පලා ගියද, ජාත්‍යන්තර පොලිස් මෙහෙයුමකින් පිටුවහල් කරනු ලැබීමෙන් පසු ඔහු මෙරටදී අත්අඩංගුවට පත් විය. ඇප මත මුදා හැරීමෙන් පසු 2015 මාර්තු මාසයේදී හික්කඩුවේ සංචාරක අවන්හලකදී රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස්ව වෙඩි තබා ඝාතනය කිරීමත් සමග ඔහු දකුණේ ප්‍රබල පාතාල නායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් විය.
මනෝජ් මෙන්ඩිස් ඝාතනයෙන් පසු පලා ගිය ඔහු 2017 වසරේදී ඉඩම්තොට ප්‍රදේශයේදී පස් හැවිරිදි දරුවෙකු ඇතුළු අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ චෝදනාවට ගාල්ල බන්ධනාගාරයට නියම විය. එහිදී දූෂිත නිලධාරීන්ගේ සහාය ඇතිව ජංගම දුරකථන භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ මෙහෙයවූ ඔහු, පසුව බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට මාරු කරනු ලැබීය. එහිදී ද කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා සහ කොස්ගොඩ තාරක වැනි අපරාධකරුවන් සමග එක්ව බන්ධනාගාර නිලධාරීන්ට මෙන්ම එවකට සිටි ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට ද මරණීය තර්ජන එල්ල කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පවා ඔහු රූපලාවණ්‍ය ද්‍රව්‍ය ආදිය භාවිත කරමින් සුඛෝපභෝගීව සිටි බව විමර්ශනවලදී හෙළි වූ අතර, කොස්ගොඩ තාරකගේ මරණයෙන් පසු සිය ජීවිතාරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ද පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. ඉන්දීය අත්අඩංගුවෙන් පසු යළි මෙරටට රැගෙන ආ අවස්ථාවේදී පවා ඔහු ගුවන්තොටුපොළේදී කිසිදු බියකින් තොරව ඉතා සැහැල්ලුවෙන් චුවිංගම් එකක් හපමින් හැසිරී ඇති බව වාර්තා වේ.