ලෙබනන් අගනුවර වන බීරූට් ඇතුළු ප්‍රදේශ රැසකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද දැඩි ප්‍රහාර මධ්‍යයේ, ලෙබනන් අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් විසින් අද ජනාධිපති මන්දිරයේදී හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. දේශීය වේලාවෙන් උදෑසන 8.00 ට කැඳවා තිබූ මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ වූයේ පෙර දින රාත්‍රියේ සිට උග්‍ර වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය සහ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා රජය විසින් ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමයි.
දකුණු ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලය වෙත එල්ල වූ රොකට් ප්‍රහාරය, ලෙබනනයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය අනතුරේ හෙළන "වගකීම් විරහිත සහ සැක සහිත ක්‍රියාවක්" ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී දැඩිව හෙළා දැක්කේය.මෙම රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාරවල වගකීම හිස්බුල්ලා සංවිධානය විසින් භාරගෙන ඇති අතර, ඔවුන් පවසන්නේ උතුරු ඊශ්‍රායලයේ හයිෆා නගරය ආසන්නයේ පිහිටි මිසයිල ආරක්ෂක මධ්‍යස්ථානයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. මෑතකදී ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙසත්, ලෙබනනය සහ එහි ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණිනුත් මෙම ප්‍රහාරය දියත් කළ බව එම සංවිධානය වැඩිදුරටත් නිවේදනය කර ඇත. කෙසේ වෙතත්, රට නව අර්බුදයකට ඇද දැමීමට ඉඩ නොදෙන බවත්, මීට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට පියවර ගන්නා බවත් ලෙබනන් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
හිස්බුල්ලා ප්‍රහාරයට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල හමුදාව විසින් බීරූට් නුවර දකුණුදිග ප්‍රදේශවලට සහ ලෙබනනයේ නැගෙනහිර බේකා නිම්නයට දැඩි ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත. ලෙබනන් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියට (NNA) අනුව, මෙම ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තවත් 149 දෙනෙකු තුවාල ලබා තිබේ. ඊට අමතරව, දකුණු ලෙබනනයේ සහ බේකා නිම්නයේ පිහිටි ගම්මාන 53ක පමණ ජනතාවට තම නිවාසවලින් ඉවත් වී අවම වශයෙන් කිලෝමීටරයක්වත් දුරකට යන ලෙස ඊශ්‍රායල හමුදාව අනතුරු අඟවා ඇති අතර, මේ හේතුවෙන් රාමසාන් උපවාස සමය තුළදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට දැඩි පීඩාවකට පත්වෙමින් ආරක්ෂිත ස්ථාන කරා පලා යාමට සිදුවී ඇත.
මෙම ගැටුම්කාරී තත්ත්වය ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය ඇතුළු ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වයන් අතර පුළුල් කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතු කර තිබේ. ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් ඊශ්‍රායල ප්‍රහාර හෙළා දකින අතරම, ලෙබනනය කලාපීය යුද්ධයක් සඳහා වේදිකාවක් කරගැනීම පිළිබඳවද අනතුරු අඟවා ඇත. 2024 නොවැම්බර් මාසයේදී හිස්බුල්ලා සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ඇති කරගෙන තිබුණද, ඊශ්‍රායලය දිගින් දිගටම එම එකඟතාවය උල්ලංඝනය කරමින් සිටි බව ලෙබනන් බලධාරීන් මීට පෙරද එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කර තිබිණි.