පැලවත්තෙන් ආණ්ඩුව මෙහෙයවීම ගැන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ස්වාධීන රූපවාහිනියේ On Air Politics සම්මුඛ සාකච්ඡාවට එක් වෙමින් කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.
ප්‍රශ්නය: මොකක්ද මේ ජාතික ජන බලවේගයේ නායකයෙක් පැලවත්තේ සිට ආණ්ඩුව මෙහෛයවන කතාව?
පිළිතුර: අනුර සහෝදරයා ජාතික ජන බලවේගයේත් නායකයා, රටෙත් නායකයා. දැන් අපි ආණ්ඩුව හදන්න කලින් ප්‍රතිපත්ති හැදුවා. මේ ඔක්කොම තීන්දු ගත්තානේ. අපි රැස්වුණේ පැලවත්තේ. අපේ ජීවිත රැස්වෙන්නෙ පැලවත්තේ. අපි සංවිධානයක් විදියට, ජේ.වී.පී එකේ මූලික සංවිධාන විදියට පැලවත්තේ රැස්වෙනවා තමයි. හරි, ආණ්ඩුව හැදුවට පස්සෙත් අපි දන්නවා ආණ්ඩුවේ තීන්දු ගන්නේ ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය ඒ ඒ තැන්වල ඉඳලා. හැබැයි ආණ්ඩුව, ආණ්ඩුවේ සමහර ප්‍රතිපත්ති හදද්දී,
යෝජනා ඉදිරිපත් කරද්දී අපි ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුව විදියට රැස් වෙනවා. අපි ඒකත් එක්ක යෝජනා, අදහස් ගන්න, යම් පෑහීමක් කරගන්න ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටුවත් රැස් වෙනවා. ඉතින් ඒවත් එක්ක, ඒවාට අනුව ආණ්ඩුවට සහය දෙන බවත්, ආණ්ඩුව රට මෙහෙයවන බවත් ඇත්ත. ඒ ආණ්ඩුව මෙහෙයවන්නේ දේශපාලන ව්‍යාපාරයකින්. ඒ දේශපාලන ව්‍යාපාරය රැස්වෙන්නේ පැලවත්තේ. ඉතින් වක්‍රාකාර අර්ථයකින් ගත්තොත් හරි, ඔහු පැලවත්තට, ආණ්ඩුවට සම්බන්ධ තමයි. හැබැයි ඔය කියන්නේ ඕක නෙවෙයි. ඔය ගැන සමහරු කියන තැනක් තියෙනවා, පැලවත්තේ කවුරුහරි කෙනෙක් ඉන්නවා, එතන ඉඳගෙන එයා තමයි 'Orders' (විධාන) දිදී ඉන්නේ කියලා. එහෙම එකක් නෑ අපි ළඟ.
ප්‍රශ්නය: ඒක ඔබව ඉලක්ක කරලා කියන කතාවක් නේද?
පිළිතුර: ඕක තමයි මං කිව්වේ. මමත් මැදිහත් වුණොත් තමයි මැදිහත් වෙන්නේ. හැබැයි මම මැදිහත් වෙන්නේ සංවිධානයට මිසක් පාලනයට නෙවෙයි.
ප්‍රශ්නය: ඇතැමුන් ඔබව හඳුන්වනවා 'නිල නොලත් ජනපති' කියලා?
පිළිතුර: නෑ... මම එහෙම කෙනෙක් නෙවෙයි. මම පක්ෂයේ ප්‍රධාන ලේකම් විදියට වැඩ කරන්නේ. මම මීට කලිනුත් කියලා තියෙනවා, මම අපේ රටේ රාජ්‍යයට අදාළ කිසිම නිලධාරියෙකුට දුරකථන ඇමතුමක්වත් දීලා නෑ. මම පොලිස්පතිතුමාට මෙතෙක් දුරකථන ඇමතුමක් දීලා නෑ. පොලිස්පතිතුමාට 'මෙන්න මේක කරන්න, මේක කරන්න එපා' කියලවත්, හමුදාපතිතුමාට හරි, කිසිම අමාත්‍යාංශ ලේකම් කෙනෙක්ට හරි මම කතා කරන්නේ නෑ. ඒක මගේ කාර්යය නෙවෙයි. හරිද? ඒක කරන්න ඒකට අදාල ඇමතිවරුන් ඉන්නවා. හැබැයි මම ජනාධිපතිතුමා එක්ක සහෝදරයෙක් විදියට කතා කරනවා.
ප්‍රශ්නය: මේ වැඩසටහනට පළමු අවස්ථාව ලෙස සහභාගී වෙන්නේ ස්වාධීන රූපවාහිනී සේවයට නේද?
පිළිතුර: ඔව්, ස්වාධීන රූපවාහිනී සේවයට. මෙතන සිද්ධ වෙන දේවල්වලට මම කවදාවත් කතාවකින්වත්, සභාපතිතුමාට හරි නිව්ස් රූම් එකෙන් හරි කෝල් එකක් දාලා, 'මොකක් හරි නිව්ස් එකක් දාන්න, මේක කියලා මිනිස්සු මට ගහල දෙන්න' කියලා උපදෙස් දෙනවද? කවදාවත් නෑ. අපි මේකට අත දාන්න එන්නෙ නෑ. හැබැයි අපිට අදහස් තියෙනවා, යෝජනා තියෙනවා.
අපි ප්‍රශ්න දකිනවා. දැක්කම ඒක විසඳන්න ඕනා. එතකොට මං මොකක් හරි ප්‍රශ්නයක් දැක්කොත්, මම දන්න අදාළ කෙනෙක්ට කතා කරන එක මගේ අයිතියනේ. අපි ඇමැතිවරයාට මොකක් හරි එකක් ගැන කිව්වොත්, අපි එතුමාව 'සහෝදරයා' විදියට බොහොම සුහදව ගත්තොත්, ඔහු සහ අපි අතර අදහස් හුවමාරු කරගන්න, අපි සංවිධානයක් හැටියට වෙලාවක් වෙන් කරගෙන කතාබහ කරගන්න ඕනේ. ඉතින් එහෙම ගත්තම, අපිත් එක්ක ඔහු පැලවත්තේ තමයි අපේ මූලස්ථානය විදියට කටයුතු කරන්නේ.
එන්.පී.පී (NPP) එකේ ආණ්ඩු කරන එක ඇත්තටම තනි පුද්ගලයන් යාමක් නෙවෙයි, මම කියන්න ගියේ ඒ ගැන. වෙන දේශපාලන පක්ෂවලට අපිව තේරුම් ගන්න බෑ. ඒකයි වෙලා තියෙන්නෙ. වෙන දේශපාලන පක්ෂ හැම එකේම නායකයෙක් ඉන්නවා, එයා ඉඳගෙන තමයි ඔක්කොම කරන්නේ. අනිත් අය "යස් සර්" (Yes Sir) කියන්න එපැයි. හැම පක්ෂෙම එහෙමයි, දැනුත් එහෙමයි. එයාට උඩින් කාටවත් යන්න බෑ. එයා තමයි තීන්දු ගන්නේ. නමුත් පැලවත්තේ එහෙම නෑ.
ප්‍රශ්නය: තීරණවලට ප්‍රජාතන්ත්‍රවාදීව දෙදෙනෙකුට වුණත් විරුද්ධ වෙන්න පුළුවන්ද?
පිළිතුර: ඕන කෙනෙක්ට අදහස් ඉදිරිපත් කරන්න පුලුවන්, යෝජනා ගේන්න පුළුවන්, විරුද්ධ වෙන්න පුළුවන්, විරුද්ධ අදහස් දක්වන්න පුළුවන්. හැබැයි අවසානයේ අපි එකඟ වෙනවා පොදු අදහසට. ඒ පොදු අදහසට සමාජයත්, අගමැතිතුමාත් එකඟ වෙනවා. මොකද, දැන් අපි අදහසක් ගෙන ආවාම, ඔබ දරන අදහසට වෙනස් අදහසක් බහුතරයක් දරනවා නම්, අපි ඔක්කොම දන්නවා ඔබට මොකද කරන්න වෙන්නේ කියලා. ඔබට සිද්ධ වෙනවා වැඩි දෙනා දරන අදහසට එකඟ වෙලා, තමන්ගේ මතය පසෙක ලා කටයුතු කරන්න. මම අදහසක් දරනු ඇති. මගේ අදහසට වෙනස් අදහසක් නම් බහුතරය දරන්නේ,
මම 'අනේ මට බෑ, මගේ අදහස පිළිගත්තේ නැහැ' කියලා අයින් වෙන්නේ නෑ. මගේ අදහස මං ගාව තියෙන අතරම, මම වැඩි දෙනාගේ අදහස අනුව වැඩ කරනවා. කිසි වෙනසක් නැතුව අපි ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු අරගෙන, ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා නොකළ පක්ෂයක් නම් අපට දිනන්න බෑ. ඒ වගේම තමයි මේ ආණ්ඩුව කරන්නත් බෑ ඇමති මණ්ඩලේ එක්කම කවුරුත් එකතු නොවී. අපි එහෙමයි. එහෙම දේශපාලන සංස්කෘතියක් නැති අයට අපිව තේරුම් ගන්න බෑ. ඒ ගොල්ලෝ හිතන් ඉන්නේ තනි කෙනෙක් මේ වගේ දේවල් කරනවා කියලා. නෑ, අපේ පක්ෂයේ තනි කෙනෙක් නෑ. අපේ පක්ෂයේ, පක්ෂ නායක ජනාධිපති වුවත් තනි තීන්දු වලින් වැඩ කරන්නේ නෑ.
ඔබ අහන්නකෝ අනුර සහෝදරයා එක්ක කතා කරද්දි කොහොමද කියන්නෙ කියලා. මම කියනවාට වැඩිය ඒ ගැන අපි සාකච්ඡා කරනවා නේද? "අපි මෙහෙම කරමු..." අපි ආණ්ඩුවක් විදියට... මොකද අපිට 'මම' කියලා කෙනෙක් නෙවෙයි ඉන්නේ. අපි කියන එක ඇතුළේ 'මම' කියල කෙනෙක් කැපිලා පේන්න නෑ. 'මගේ' කියලා එකක් නෙවෙයි තියෙන්නේ. ඉතින් මං පොර කියන එකක් නෑනේ. අපිට තියෙන්නේ අපි කවුරුත් එකතු වෙලා කරන වැඩක්. මෙතන සමූහයක් විදියට වැඩ කරන 1ක්. එහෙම සමාජයක් අපිට ඕනේ. මේ ඕනෑම ආයතනයක් එහෙමනෙ, කට්ටිය එකතු වෙන්නෙ නැත්නම් තනිවම කරගන්න බෑ. පවරපු කාර්යයක් තියෙනවා. ඒ කාර්යය අපි කරනවා.
ප්‍රශ්නය: ඊළඟ ප්‍රශ්නෙ, "අපි කවුද?" කියන එක? මීට කලින් තිබ්බ ආණ්ඩුවල තිබ්බ ලක්ෂණයක් තමයි ජනාධිපති ඇතුළු කිහිප දෙනෙක් එකතුවෙලා රට පාලනය කළේ ?
පිළිතුර: අපට නිල සංවිධාන තියෙනවා. අපි ගත්තොතින් අපට ජාතික ජන බලවේගයේ විධායක සභාවක් තියෙනවා. අනතුරුව ඒකෙන් ගොඩ දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නවා. අපට ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවක් තියෙනවා, ඒකේ විස්සක් විසි පහක් වගේ පිරිසක් ඉන්නවා. අපි මාස්පතා එකතු වෙනවා. ඒ නිසා අපි කියන්නේ ඒකට ජනතාව තුළින් එන අදහස් ගලන්න පුළුවන් කියලයි. මධ්‍යම කමිටු එකතු වෙනවා. අපි කියන්නෙ ඒකට. අපි දිස්ත්‍රික් සංවිධාන විදියට ඒවා එකතු වෙනවා. එවැනි අදහස් අපට එනවා. අපේ බිම් මට්ටමේ සංවිධාන, කොට්ඨාස සභා ඒවා එකතු වෙනවා. ඒ අදහස් අපට එවනවා. අපි අදහස් එතැනට යවනවා. ඒ නිසා පහළ සිට ඉහළටම අපි අදහස් හුවමාරු වෙනවා.
අඩුපාඩු තියෙද්දි, මම කියන එක සමහරවිට අදහසක් එන්න පරක්කු වෙන්න පුළුවන්. හැම තැනම වගේ අඩුපාඩු තියෙන්න පුළුවන්නේ. නමුත් යාන්ත්‍රණයක් හැටියට අපි බිම් මට්ටමේ සිටම මධ්‍යගතකරණය කරලා, බිම බලාගෙන එන අදහස් අරගෙන උඩට එන්නත්, උඩින් ගන්න තීරණ පහළ දක්වා ගෙන යන්නත් පුළුවන් එහෙම යන්ත්‍රයක් පවත්වන නිසා අපි සංවිධානයක්. තනි පුද්ගලයෙක් නෙවෙයි, කුඩා කණ්ඩායමක් හෝ කල්ලියක් නෙවෙයි අපි. මීට කලින් කල්ලි තමයි රට පාලනය කළේ. නායකයෙක් ඉන්නවා, එයාට යටින් තවත් හතර පස් දෙනෙක් ඉන්නවා. ඒ අය ගොඩදාගන්න වටේට ඉන්න එගොල්ලො තමයි ඔක්කොම තීන්දු ගන්නේ. එතකොට අනිත් අය සර්ගේ වැඩ කරගන්න ඉන්නවා ඇති. අපිට එහෙම නෙවෙයි. අපි කණ්ඩායමක් ලෙස එකට වැඩ කරන්නෙ, අපි ජයග්‍රහණය කළෙත් එතනින්.