වත්මන් රජය සිය පාලන තන්ත්‍රයේ පවතින දුර්වලතා වසන් කර ගැනීමටත්, ජනතාව අතර පැනනගින විරෝධය යටපත් කිරීමටත් රාජපක්ෂවරුන් ඉලක්ක කර ගනිමින් දේශපාලන නාටක රඟදක්වමින් සිටින බව රංගන ශිල්පී රජිත හිරාන් මහතා චෝදනා කරයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු සමඟ පැමිණි රජිත හිරාන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (03) මේ බව කියා සිටියේය.
මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ රාජපක්ෂ පවුල වටා රොක් වී සිටින පිරිස අතීත ඓතිහාසික කතා පුවතකට සමාන කරමින් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, දුටුගැමුණු කුමාරයා යුධ බිමට පිවිස සිටින මොහොතක විහාරමහා දේවිය සිරගත කිරීමට සැරසෙන්නේ නම් දස මහා යෝධයන් නිරායාසයෙන්ම ඒ වටා රොක් වන බවයි. එහිදී තමන්ගේ ශරීර ප්‍රමාණය අනුව තමන් ගෝඨයිම්බර යෝධයා විය හැකි බව ද ඔහු උපහාසාත්මකව පවසා සිටි අතර, තමන් තවමත් රටේ නායකයා ලෙස පිළිගනු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතා බව ද එහිදී විශේෂයෙන් අවධාරණය කළේය.
වත්මන් රජය ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති පසුබිමක, ආර්ථික පීඩනය හමුවේ ජනතාව ඊට එරෙහිව නැගී සිටින විට ඔවුන්ගේ අවධානය වෙනත් අතකට යොමු කිරීම සඳහා මෙවැනි විමර්ශන මාතෘකා ලෙස සමාජගත කරන බව රජිත හිරාන් මහතා පෙන්වා දෙයි.
මේ අතර, තමන් යුද හමුදාවෙන් වැටුප් ලබා ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනා ඒ මහතා දැඩිව ප්‍රතික්ෂේප කළ අතර, එම පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ළඟදීම සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන බව ද කියා සිටියේය. තමන් යම් වරදක් කර ඇත්නම් අත්අඩංගුවට ගන්නා ලෙස අභියෝග කළ රජිත හිරාන් මහතා, ‘පිං පොං’ යන අන්වර්ථ නාමයට මුවා නොවී සෘජුවම තම නම සඳහන් කර චෝදනා ඉදිරිපත් කරන ලෙස ද විවේචකයන්ට දැනුම් දුන්නේය.
තවද, ගාමිණී ලොකුගේ මහතාගේ ආසන සංවිධායක ධුරය තමන්ට ලැබී ඇති බවට පැතිර යන ආරංචිය ද අසත්‍ය බවත්, හුදෙක් ඡායාරූපයක් පදනම් කරගෙන අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පිරිස මෙවර දැඩි ලෙස රැවටී ඇති බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, තමන්ට ලැබී ඇති හඬ ශක්තිය රට වෙනුවෙන් ඉදිරියටත් නොබියව භාවිතා කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. : වයීරල් වුණේ සංවිධායක කියලා තමයි : මම දැම්මේ නෑනේ, මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ. : ඇයි සංවිධායක ධූරයක් දුන්නොත් කරන්න බැරිද? : කරන්න පුළුවන් ජනාධිපතිකම දුන්නත් කරනවා අපිට වඩා පුළුවන් මිනිස්සු වෑ මේවා භාර අරන් තියෙන්නේ. පාපිසිවලට පුළුවන්නම් අපිට බැරිද? : ඒ කියන්නේ අදහසක් තියෙනවද ඡන්දේ ඉල්ලන්න? : දැනට නෑ : ඔයාලගේ සංවිධායක ප්‍රධාන නාමල් මහත්තයා කිව්වොත්? : රටේ කාලීන අවශ්‍යතාවය මත අපිට ඕනේ විදිහකට සැකසෙන්න පුළුවන්.