නවසීලන්තයට එරෙහිව ඊයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයෙන් අනතුරුව, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මඟ නිවැරදි කර ගැනීම සඳහා සෑම මට්ටමකින්ම විශාල කාර්යභාරයක් ඉටු කිරීමට සිදුව ඇති බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. ලෝක ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වේගයෙන් පරිණාමය වෙමින් පවතින වටපිටාවක, පැරණි ක්‍රමවේදයන්ම නැවත නැවතත් අනුගමනය කරමින් වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකි බව හෙතෙම අවධාරණය කරයි.
'X' සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මේ මොහොතේ සෑම පාර්ශ්වයක්ම දැඩි වේදනාවකින් පසුවන බවයි. කණ්ඩායමේ පරාජය හේතුවෙන් ප්‍රේක්ෂකයින් දැඩි ලෙස කලකිරීමට සහ කෝපයට පත්ව සිටින බවත්, ක්‍රීඩකයින්ද ඒ හා සමාන දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවත් ඔහු එහි සඳහන් කර තිබේ. තමා ද අතීතයේ මෙවැනි පසුබෑම් සහිත ක්‍රීඩාගාර තුළ සිට ඇති බැවින් එම අත්දැකීම කෙතරම් දුෂ්කර දැයි මනාව වටහා ගත හැකි බව සංගක්කාර මහතා ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත්, තම මව්බිම සහ ජනතාව නියෝජනය කිරීම යනු දැඩි වගකීමක් මෙන්ම සුවිශේෂී වරප්‍රසාදයක් බව ඔහු සිහිපත් කරයි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව නව ක්‍රිකට් ප්‍රවණතාවන්ට අනුව හැඩගැසී නොමැති බව පෙන්වා දෙන හිටපු නායකයා, මෙම තත්ත්වය හමුවේ ජාත්‍යන්තර තලයෙන් ශ්‍රී ලංකාව කොන් වීමේ හෝ කිසිදු වැදගත්කමක් නොමැති කණ්ඩායමක් බවට පත්වීමේ දැඩි අවදානමක් පවතින බවට ද අනතුරු අඟවා තිබේ.