ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තීරණාත්මක සුපිරි අට වටයේ තරගයක් ඉරිදා පස්වරු 3:00 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෑතකදී මෙම ක්‍රීඩාංගණයේදීම පැවැති ද්විපාර්ශ්වික තරගාවලියෙන් එංගලන්තය 3-0 ක ජයග්‍රහණයක් ලබා ගත්තද, වර්තමාන ලෝක කුසලාන තරගාවලිය තුළ වැඩි වාසිය සහ රිද්මය ශ්‍රී ලංකාව දෙසට හැරී ඇතැයි වාර්තාවක් පළ කරමින් ක්‍රික් බස් (cric buzz)වෙබ් අඩවිය පවසයි.
පෙර පැවැති තරග සඳහාද වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, සෙනසුරාදා සවස පැවැති පුහුණුවීම්වලින් අනතුරුවද ගිගුරුම් සහිත වැසි ඇතිවිය. ඉරිදා දිනයේදීද තරගය ආරම්භ වීමට පෙර සිටම වර්ෂාව පතිත වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බැවින් තරගය ප්‍රමාද වීමට, ඩක්වර්ත් ලුවිස් න්‍යාය (DLS) භාවිතයට ගැනීමට හෝ තරගයේ කාලය සීමා වී ප්‍රසාද ලකුණු සමව බෙදී යාමට පවා ඉඩකඩ පවතී.සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිදුවූ සුළු පසුබෑම හැරුණු විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය පුරාවටම විශිෂ්ට දස්කම් දක්වා ඇති අතර, විශේෂයෙන්ම පල්ලෙකැලේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔවුන් ලබාගත් දැවැන්ත ජයග්‍රහණය කැපී පෙනේ. වනිඳු හසරංග සහ මතීෂ පතිරණ යන ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනාගේ අඩුවද නොතකා ඔවුන් ඉතා ඉහළ ආත්ම විශ්වාසයකින් යුතුව මෙම තරගයට පිවිසෙයි. පැතුම් නිස්සංක පිතිකරණයෙන් පෙරමුණ ගෙන සිටින අතර, කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක, කමිඳු මෙන්ඩිස් සහ නායක දසුන් ශානක අවශ්‍ය අවස්ථාවලදී සිය වගකීම මනාව ඉටු කර ඇත. 2024 ජනවාරි මාසයේ සිට පැතුම් නිස්සංකගේ දත්ත නිරීක්ෂණය කිරීමේදී, ඔහු ලකුණු හඹා යාමේදී ලකුණු 58.72 ක සාමාන්‍යයක් සහ 157.52 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන සිටියද, ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේදී ඔහුගේ සාමාන්‍යය 20.04 ක් තරම් පහළ අගයක් ගැනීම විශේෂත්වයකි. මතීෂ පතිරණ වෙනුවට කණ්ඩායමට කැඳවූ දිල්ෂාන් මධුශංක මෙම තරගයටද ක්‍රීඩා කිරීමට නියමිත අතර, විවේක ගන්වා සිටි දුෂ්මන්ත චමීර නැවතත් කණ්ඩායමට එක්වනු ඇත්තේ ප්‍රමෝද් මදුෂාන් වෙනුවටය.
අනෙක් අතට එංගලන්ත කණ්ඩායමේ සුපිරි අට වටයේ ගමන එතරම් සුමට එකක් නොවූ අතර, විශේෂයෙන්ම ඔවුන්ගේ මුල් පෙළ පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට දැඩි අරගලයක නිරත විය. පසුපෙළ පිතිකරුවන්ගේ පිහිටෙන් ඔවුන් තරග ජයග්‍රහණය කළද, දඟ පන්දු යවන්නන්ට එරෙහිව ජොස් බට්ලර් සහ නායක හැරී බෲක් දක්වන දුර්වල පිතිකරණ දත්ත එංගලන්තයට දැඩි ගැටලුවක් වී ඇත. මීට අමතරව එංගලන්තය පෙර තරගවලට සහභාගී වූ ක්‍රීඩකයන් එකොළොස් දෙනාම මෙම තරගයටද යොදාගනු ඇතැයි අපේක්ෂා කළද, වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ජේකබ් බෙතෙල් හට බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති තරගයේදී ඇඟිල්ලක සිදුවූ තුවාලයක් හේතුවෙන් පන්දු යැවීමේ අවස්ථාව අහිමි වී තිබේ. තුවාලය ආවරණය කරමින් පන්දු යැවීමට නීතියෙන් අවසර නොමැති බවත්, ඔහු නොමැතිව දඟ පන්දුවට උචිත තණතීරුවක පන්දු යැවීමේ විකල්ප අහිමි වන බවත් නායක හැරී බෲක් තහවුරු කළේය.
කෙසේ වෙතත්, කණ්ඩායම් දෙක අතර ඉතිහාසය දෙස බැලීමේදී එංගලන්තය පැහැදිලි ආධිපත්‍යයක් පතුරවා ඇත. ඔවුන් සහභාගී වූ විස්සයි විස්ස තරග 17 න් 13 ක්ම එංගලන්තය ජයගෙන ඇති අතර, 2016 වසරේ සිට මේ දක්වා පැවැති තරග 11 ම ජයගැනීමටද ඔවුන් සමත් වී ඇත. ලෝක කුසලාන තරගවලදීද එංගලන්තය 5-1 ක් ලෙස පෙරමුණේ පසුවන නමුත්, ශ්‍රී ලංකාව ලබාගත් එකම ලෝක කුසලාන ජයග්‍රහණය 2012 වසරේදී මෙම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීම වාර්තා වීම සුවිශේෂීය. ද්විපාර්ශ්වික තරගාවලියකට වඩා සුපිරි අට වටයේ තරගයක පීඩනය සම්පූර්ණයෙන්ම වෙනස් බවත්, පීඩනය හමුවේ අඩුම වැරදි ප්‍රමාණයක් කරන කණ්ඩායම ඉදිරියට යනු ඇති බවත් ශ්‍රී ලංකා පන්දු රකින පුහුණුකරු ආර්. ශ්‍රීධර් ප්‍රකාශ කළේය. එහෙත් මෑතකදී මෙම ක්‍රීඩාංගණයේදීම ලබාගත් තරගාවලි ජයග්‍රහණයේ අත්දැකීම් උපයෝගී කරගනිමින්, උපරිම දක්ෂතා අතරට පැමිණියහොත් ශ්‍රී ලංකාව පරාජය කිරීමේ හැකියාව තම කණ්ඩායමට පවතින බව එංගලන්ත නායක හැරී බෲක් වැඩිදුරටත් සඳහන් කර තිබේ.