pakistan-announces-withdrawal-from-t20-world-cup-match-against-india-which-was-to-be-held-in-sri-lanka

පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එරට රජයේ අනුමැතිය හිමිවී ඇති නමුත්, ශ්‍රී ලංකාවේ පිටියකදී ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබුණ තරගයට සහභාගී නොවන ලෙස පාකිස්තාන රජය විසින් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට නියෝග කර තිබේ. පසුගිය සතිය පුරා පැවති විවිධ කටකතා සහ අනුමාන කිරීම්වලට තිත තබමින් පාකිස්තාන රජය ඉරිදා සන්ධ්‍යාවේ මෙම නිල නිවේදනය නිකුත් කරන ලදී.

පෙබරවාරි 7 වනදා සිට මාර්තු 8 වනදා දක්වා පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සහභාගී වන බව රජය තහවුරු කර ඇති නමුත්, මෙම තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙත මෙතෙක් කිසිදු නිල දැනුම් දීමක් සිදු කර නොමැත.




පාකිස්තාන රජය නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉස්ලාමීය ජනරජයක් වන පාකිස්තාන රජය, 2026 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා සිය ක්‍රිකට් කණ්ඩායමට අනුමැතිය ලබා දෙන බවත්, එහෙත් 2026 පෙබරවාරි 15 වන දින ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය සඳහා කණ්ඩායම ක්‍රීඩා පිටියට නොපිවිසිය යුතු බවත්ය. පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහොසින් නක්වි සහ එරට අගමැති ෂෙහ්බාස් ෂරීෆ් අතර ඉරිදා සන්ධ්‍යාවේ ලාහෝර්හිදී පැවති සාකච්ඡාවකින් පැය කිහිපයකට පසුව මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි. මීට පෙර පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ප්‍රකාශ කර තිබුණේ තරගාවලියට සහභාගී වීම පිළිබඳ තීරණය ජනවාරි 30 සිකුරාදා හෝ පෙබරවාරි 2 සඳුදා ගනු ලබන බවයි. මෙම තීරණයත් සමඟ පාකිස්තාන කණ්ඩායම සඳුදා දිනයේදී ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරග ඉන්දියාවෙන් පිටතට ගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව විරෝධය පළ කිරීමක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව පැහැදිලි වේ. අදාළ ICC රැස්වීමේදී බංග්ලාදේශයේ ඉල්ලීමට සහය දැක්වූ එකම පාර්ශවය වූයේ පාකිස්තානය වන අතර, එහිදී බංග්ලාදේශයට අසාධාරණයක් සිදු වූ බව සභාපති නක්වි ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත්, පෙබරවාරි 15 වනදා තරගය වර්ජනය කිරීම සඳහා නිශ්චිත හේතුවක් පාකිස්තාන රජයේ නිල නිවේදනය මගින් සපයා නොමැත.




මේ වන විට ලෝකයේ අවධානය යොමුව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මීළඟ පියවර කුමක්ද යන්න කෙරෙහි වන අතර, තරගාවලියේ වාණිජමය වශයෙන් වැදගත්ම තරගය වර්ජනය කිරීම ලෝක පාලක මණ්ඩලය විසින් කෙසේ බාරගනු ඇත්ද යන්න ගැටලුවකි. දැනට ICC ය ප්‍රකාශ කර ඇත්තේ පාකිස්තාන රජයේ ප්‍රකාශය තමන් සැලකිල්ලට ගෙන ඇති බවත්, ක්‍රිකට් මණ්ඩලයෙන් නිල තහවුරු කිරීමක් ලැබෙන තුරු බලා සිටින බවත්ය. සියලු පාර්ශවයන්ගේ අවශ්‍යතා ආරක්ෂා වන පරිදි අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සෙවීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔවුන් සඳහන් කර ඇත.

තරගාවලියේ 'A' කාණ්ඩය යටතේ තරග වදින පාකිස්තානය සමඟ ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, නැමීබියාව සහ නෙදර්ලන්තය යන රටවල් ඇතුළත් වේ. පෙබරවාරි 7 වනදා කොළඹදී නෙදර්ලන්තයට එරෙහිව තරගාවලියේ ආරම්භක තරගයට සහභාගී වීමට නියමිත පාකිස්තාන කණ්ඩායම, පෙබරවාරි 10 වනදා අමෙරිකා එක්සත් ජනපදය සමඟ තරග වැදීමට නියමිතය. අනතුරුව පෙබරවාරි 15 වනදා ඉන්දියාවට එරෙහි තරගයත්, පෙබරවාරි 18 වනදා නැමීබියාවට එරෙහි තරගයත් පැවැත්වීමට නියමිතව තිබේ. තරගාවලියේ සම සත්කාරක රටක් වන ශ්‍රී ලංකාවේදී පාකිස්තානයේ මූලික වටයේ සියලුම තරග පැවැත්වීමට සැලසුම් කර ඇත.



කෙසේ වෙතත්, ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කිරීමේ පුවත මුම්බායි ක්‍රිකට් ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ එතරම් බරපතල ලෙස ගෙන නොමැති බව පෙනී යන අතර, මෙය පාකිස්තාන රජයේ අවසන් තීරණය නොවීමට ඉඩ ඇති බවටද මත පළ වී තිබේ. පාකිස්තානය මෙම තීරණය ක්‍රියාත්මක කර ඉන්දියානු තරගය පමණක් වර්ජනය කළහොත් ඊට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ. තෝරාගත් තරගවලට පමණක් සහභාගී වීම වැනි ක්‍රියාවක් ICC ය විසින් පහසුවෙන් බැහැර නොකරනු ඇති අතර, ඩුබායි මූලස්ථානයෙන් දැඩි ප්‍රතිචාරයක් අපේක්ෂා කළ හැක.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙන්නේ වැරදි පූර්වාදර්ශයක් සැකසීමට තමන්ට අවශ්‍ය නොවන බවත්, අවසන් මොහොතේ මණ්ඩල එකක් හෝ දෙකක් විසින් සිය අධිකාරිය අභියෝගයට ලක් කරන්නේ නම් ඕනෑම දැඩි පියවරක් ගැනීමට පසුබට නොවන බවත්ය. මෙහිදී ගත හැකි ක්‍රියාමාර්ග අතර පාකිස්තාන සුපර් ලීග් (PSL) සඳහා ක්‍රීඩකයින්ට අවසර ලබා නොදීම, ආසියානු කුසලානයෙන් පාකිස්තානය තහනම් කිරීම හෝ ICC ආදායම් පංගුව අත්හිටුවීම වැනි පියවර ඇතුළත් විය හැකිය.

ලෝක කුසලානයේ මුළු තරග 55 අතුරින් වඩාත්ම ඉල්ලුමක් ඇති තරගය වන්නේ ඉන්දියා-පාකිස්තාන ගැටුමයි. සාමාන්‍යයෙන් ඉන්දියාව සහභාගී වන ජාත්‍යන්තර තරගයක් ඇමරිකානු ඩොලර් මිලියන 10-11 ක් (ඉන්දීය රුපියල් කෝටි 100 ක් පමණ) ලෙස තක්සේරු කෙරෙන අතර, ඉන්දියා-පාකිස්තාන තරගයක වටිනාකම එයින් දෙගුණයක් හෝ ඊට වැඩි විය හැකිය. එබැවින් මෙම තරගය අවලංගු වුවහොත් සිදුවන මූල්‍ය අලාභය ඉන්දීය රුපියල් කෝටි 200 ඉක්මවනු ඇතැයි ගණන් බලා තිබේ.

ඉරිදා රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් ICC ය අනතුරු ඇඟවූයේ "වරණාත්මක සහභාගීත්වය" (selective participation) කිසිසේත් ඉවසා නොසිටින බවයි. ගෝලීය ක්‍රීඩා ඉසව්වක මූලික පදනම වන්නේ සුදුසුකම් ලැබූ සියලුම කණ්ඩායම් සමාන කොන්දේසි යටතේ තරග වැදීම බවත්, වරණාත්මක සහභාගීත්වය තරගාවලියේ ජීවගුණය සහ පාරිශුද්ධභාවය හෑල්ලුවට ලක් කරන බවත් ඔවුන් පෙන්වා දී ඇත. රජයන්ගේ ජාතික ප්‍රතිපත්තිවලට ගරු කරන නමුත්, මෙම තීරණය ගෝලීය ක්‍රීඩාවේ හෝ ලොව පුරා විසිරී සිටින ක්‍රිකට් ලෝලීන්ගේ යහපතට හේතු නොවන බවද ICC ය අවධාරණය කරයි. මෙමගින් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට දිගුකාලීන බලපෑම් ඇති විය හැකි අතර, ගෝලීය ක්‍රිකට් පරිසර පද්ධතියටද හානි සිදුවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.