මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන විසිපස් හැවිරිදි සිසුවකු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදල් සොයා ගැනීමෙන් අනතුරුව මොරටුව මූලස්ථාන පොලිසිය විසින් පසුගිය 03 වැනිදා රාත්‍රියේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිසුවා සන්තකයේ මත්ද්‍රව්‍ය ඇති බවට විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයට ලද රහසිගත තොරතුරක් මත පොලිසිය වෙත සිදුකළ දැනුම් දීමකින් පසුව, එහි පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර සිසුවා පරීක්ෂාවට ලක් කර ඇත.
එම පරීක්ෂාවේදී සිසුවා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 330 ක්, හෑෂ් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 22 ක්, ගංජා ග්‍රෑම් 24 මිලිග්‍රෑම් 50 ක්, මත් කරල් 2 ක් සහ මත් මුද්දර 15 ක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී රුපියල් 59,000 ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු කාලයක පටන් විශ්වවිද්‍යාල සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, ඔහුට මෙම මත්ද්‍රව්‍ය ලැබුණු ආකාරය සහ ජාවාරම පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක වන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් ද අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බවත් වාර්තා වේ.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ දෙහිවල එච්.එම්. ධර්මපාල යන වාර්තාකරුවන් සඳහන් කරන පරිදි අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (04) මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.