legal-assistance---50-for-mallavarachchi-and-0-for-the-two-brothers

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සොහොයුරන් දෙදෙනා ලබන මාර්තු මස 04 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (18) නියෝග කළේය.




මෙම සැකකරුවන් අද දිනයේ නැවත වරක් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥවරුන් පනස් දෙනෙකුට ආසන්න පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටි නමුත්, සැකකරුවන් වෙනුවෙන් අද දින ද කිසිදු නීතීඥවරයෙකු ඉදිරිපත් නොවීම විශේෂ සිදුවීමක් විය.

නඩු කටයුතු අතරතුරදී තමන්ට අධිකරණය වෙත යම් කරුණක් පැවසීමට ඇත්දැයි මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ගෙන් විමසා සිටි අතර, එහිදී තමන්ට ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව ඔවුන් දන්වා සිටින ලදී.




සැකකරුවන්ගේ එම ඉල්ලීමට අවසර ලබා දුන් මහෙස්ත්‍රාත්වරයා, අදාළ ප්‍රකාශය සටහන් කරගැනීම සඳහා ඔවුන් මහෙස්ත්‍රාත් නිල මැදිරිය වෙත කැඳවීමට කටයුතු කළේය.

බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනවලදී, ඝාතකයින්ට වෙඩි තැබීම සඳහා ගිනි අවි ප්‍රවාහනය කර දීමේ චෝදනාව මත මෙම සොහොයුරන් දෙදෙනා කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.



මොවුන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු මත ඊයේ පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී ‘පොල්ගස්ඕවිට ඩිලා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන සැකකරු ද පොලිස් අත්අඩංගුවට පත්විය.