an-army-officer-lost-his-life-in-a-shooting-incident-in-the-dombagoda-military-base

අඟුරුවාතොට පොලිස් වසමට අයත් දොඹගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කඳවුරක් තුළදී සිදු වූ වෙඩි වැදීමකින් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දොඹගොඩ යුද්ධ හමුදා යුධ උපකරණ බළකායට අනුයුක්තව සේවය කළ අම්පාර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි නිලධාරියෙකු මෙලෙස මියගොස් ඇති බව අඟුරුවාතොට පොලිසිය තහවුරු කරයි.




මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ (09) දින උදෑසන 10.35 ට පමණ සිදුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිස් ස්ථානය වෙත නිල වශයෙන් තොරතුරු වාර්තා වී ඇත්තේ එදින පස්වරු 1.20 ට පමණ බව පොලිසිය සඳහන් කරයි.

රාජකාරි කටයුතු නිම කිරීමෙන් අනතුරුව නිලධාරීන් කිහිප දෙනෙකු සිය ගිනි අවි භාර දීම සඳහා විවේක කාමරය තුළට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි වැදීම සිදුවී ඇති බව වාර්තා වේ. එහිදී අදාළ නිලධාරීන් සතුව තිබූ ගිනි අවි කිහිපයක් එක්තැන් කර කාමරය තුළ තබා තිබියදී, මියගිය නිලධාරියාගේ අතේ තිබූ වෙනත් නිලධාරියෙකුට අයත් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට කරුණු හෙළි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ පවුල් ආරවුලක් මුල් කරගනිමින් මෙම වෙඩි වැදීම සිදුව ඇති බවයි.