පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මෙන්ම හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාද වන විශ්‍රාමික මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන වශයෙන් පදනම් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ (Channel 4) රූපවාහිනී නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනකින් හෙළිදරව් කළ කරුණු මුල්කරගනිමින් ආරම්භ කළ අපරාධ විමර්ශනයකි. සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මින් පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටද දැනුම් දී තිබුණි.
එම රූපවාහිනී වැඩසටහනේදී අසාත් මවුලානා නමැත්තා විසින් සිදුකර ඇති ප්‍රකාශ සහ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස රොහාන් සිල්වා පියතුමා සිය පැමිණිල්ල මගින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබිණි. අනතුරුව අමාත්‍යාංශය විසින් අදාළ පැමිණිල්ල 2024 වසරේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමු කිරීමෙන් පසු, ඔහුගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත එය යොමු කිරීමෙන් මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
මෙම විමර්ශනයට අදාළව පැමිණිලිකාර රොහාන් සිල්වා පියතුමාගෙන් මේ වන විටත් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පොලිසිය තහවුරු කරයි. ඊට අමතරව, චැනල් ෆෝ වැඩසටහනට කරුණු දැක්වූ අසාත් මවුලානා මීට පෙර පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාටද ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චැනල් ෆෝ නාලිකාවෙන් චෝදනාවට ලක්වූ තුවාන් සුරේෂ් සලේ මහතා, 2019 වසරේ දෙසැම්බර් මාසයේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරනු ලැබීය. කෙසේ වෙතත්, රොහාන් සිල්වා පියතුමාගේ මෙම පැමිණිල්ල ඉදිරිපත් වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඔහුව එම තනතුරෙන් ඉවත් කර වෙනත් නිලධාරියෙකු එම ධුරය සඳහා පත් කිරීමට පියවර ගනු ලැබුවේය.