ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් විසින් ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය ඊයේ (15) පස්වරුවේ අවසන් කර තිබේ.
මෙම උපවාසය අත්හැරීම සිදුව ඇත්තේ පුල්මුඩේ අරිසිමලය ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පනාමුරේ තිලකවංශ හිමියන් බන්ධනාගාරයට වැඩම කර උන්වහන්සේ සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ඇති කරගත් එකඟතාවක් මත වන අතර, එහිදී බන්ධනාගාර නිලධාරීන් ලබා දුන් ගිලන්පස පිළිගනිමින් උන්වහන්සේ උපවාසය අවසන් කළ බව වාර්තා වේ.
අධිකරණ නියෝග මත ඉකුත් 14 වනදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බලන්ගොඩ කස්සප හිමියන් ඊට විරෝධය පළ කරමින් බන්ධනාගාරයෙන් ලබා දුන් දිවා ආහාරය ප්‍රතික්ෂේප කර මෙම උපවාසය ආරම්භ කර තිබිණි.
ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට අයත් භූමියක ඉකුත් නොවැම්බර් මස 16 වනදා දහම් පාසලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමෙන් පසුව එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට විහාරාධිපති හිමියන් හා දායක සභාව කටයුතු කිරීමත් සමග හටගත් සිදුවීම් මාලාව මෙම අත්අඩංගුවට ගැනීම්වලට මූලික වී ඇත.
අදාළ භූමියේ සිදුකරන ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව එදින රාත්‍රියේම බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළ අතර, එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය හා ගැටුම් හේතුවෙන් භික්ෂූන් වහන්සේලා දෙනමක් රෝහල්ගත කිරීමට ද පියවර ගැනුණි.
කෙසේ වෙතත් එල්ල වූ දැඩි විරෝධතා හමුවේ පසුදිනම එම ස්ථානයේ නැවත බුද්ධ ප්‍රතිමාව තැන්පත් කිරීමට පොලිසිය පියවර ගත් අතර, පසුව විහාරස්ථානයේ කොටසක් ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අධිකරණය අදාළ ගැටලුව සාමකාමීව විසඳා ගන්නා ලෙස පාර්ශ්වකරුවන්ට දැනුම් දී තිබිණි.
මෙවන් පසුබිමක අදාළ නඩුව ඊයේ (14) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී නඩුවේ සැකකරුවන් 11 දෙනා අතුරින් විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, බලන්ගොඩ කස්සප හිමියන්, ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ නන්ද හිමියන් ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙහිදී ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සිදුකිරීම යන චෝදනා යටතේ කරුණු වාර්තා කළ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා භික්ෂූන් වහන්සේලා සිව්නම සහ සෙසු සැකකරුවන් පස්දෙනා එළඹෙන ජනවාරි 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.