පළාත් කිහිපයක් පුරා පැතිර ගිය විරෝධතා මාරාන්තික ගැටුම් බවට පත්වීමෙන් පසුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ මැදිහත් වීමේ අනතුරු ඇඟවීමත් සමඟ ඉරාන නායකත්වය ඊට දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇත. වොෂින්ටනය මැදිහත් වුවහොත් කලාපයේ සිටින ඇමරිකානු හමුදා ඉලක්ක කළ හැකි බවට ඉරාන බලධාරීන් සිකුරාදා දින අනතුරු අඟවා සිටියේය.
සාමකාමී විරෝධතාකරුවන් ඝාතනය කිරීම ඉරානයේ සිරිතක් බවත්, එසේ සිදු වුවහොත් ඇමරිකා එක්සත් ජනපදය ඔවුන් බේරා ගැනීමට පැමිණෙන බවත් ජනාධිපති ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් (Truth Social) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණි. තමන් ඒ සඳහා පූර්ණ සූදානමින් සිටින බව ("locked and loaded") ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ. මීට ඍජු ප්‍රතිචාරයක් ලෙස පෙනෙන ප්‍රකාශයක් කරමින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සඳහන් කළේ ඉරානය සිය සතුරන්ට යටත් නොවන බවයි. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය සහ ජනතාවගේ සහයෝගය ඇතිව සතුරා දණ ගස්වන බව ඔහු එක්ස් (X) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.
ඉරාන නිලධාරීන් රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇමරිකානු මැදිහත්වීම්වලට එරෙහිව දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඇමරිකානු මැදිහත්වීම මුළු කලාපයේම අස්ථාවරත්වයට සහ ඇමරිකානු අවශ්‍යතා විනාශ වීමට හේතු වනු ඇතැයි ඉරාන ජාතික ආරක්ෂක ප්‍රධානී අලි ලාරිජානි ප්‍රකාශ කළ අතර, කමේනිගේ සමීප උපදේශකයෙකු වන අලි ෂම්කානි පැවසුවේ ඉරාන ආරක්ෂාවට එරෙහිව එන ඕනෑම මැදිහත්වීමක අත කපා දමන බවයි.
වඩාත් සෘජු තර්ජනයක් එල්ල කළ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ්, වොෂින්ටනය මැදිහත් වුවහොත් මැදපෙරදිග පුරා ඇති ඇමරිකානු මධ්‍යස්ථාන සහ හමුදා නීත්‍යානුකූල ඉලක්ක බවට පත්වන බවට අනතුරු ඇඟවීය. මේ අතර, විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ද අනතුරු අඟවා සිටියේ රටේ ස්වෛරීභාවයට අවදානමක් ඇති වුවහොත් ඉලක්ක ගත යුත්තේ කොතැනටද යන්න තම සන්නද්ධ හමුදා හොඳින් දන්නා බවයි. ඉරාන විදේශ අමාත්‍යාංශය වෙනම ප්‍රකාශයක් නිකුත් කරමින් වොෂින්ටනයේ තර්ජනය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස හෙළා දැක ඇති අතර ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලබා දෙන බව කියා සිටියේය.
ට්‍රම්ප්ගේ ප්‍රකාශය ඉරානයට "දැඩි අනතුරු ඇඟවීමක්" යැවීම අරමුණු කරගත් එකක් බව ඇමරිකානු නිලධාරීන් සීඑන්එන් (CNN) වෙත පවසා තිබුණද, මේ වන විට කලාපයේ හමුදා මට්ටම්වල විශාල වෙනසක් හෝ සෘජු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ධවල මන්දිර නිලධාරියෙකු තහවුරු කර ඇත. ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ ඉරාන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ අලි වයෙස් පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ගේ තර්ජන වොෂින්ටනයට උපායමාර්ගික උභතෝකෝටිකයක් නිර්මාණය කරන බවයි. එනම්, ඇමරිකාව ක්‍රියාමාර්ග නොගතහොත් පාලන තන්ත්‍රය තවදුරටත් ශක්තිමත් විය හැකි අතර, මැදිහත් වුවහොත් එය පුළුල් ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
ටෙහෙරානය ඇතුළු නගර කිහිපයක සිකුරාදා දිනයේදීත් විරෝධතා පැවති අතර, "නිදහස" සහ "ඒකාධිපතියා පලවා හරිනු" වැනි සටන් පාඨ කියමින් ජනතාව වීදි බැස තිබේ. ඇතැම් ස්ථානවල ආරක්ෂක අංශ බලය යොදා ඇති අතර, නාර්මාක් ප්‍රදේශයේ නිල ඇඳුමින් සැරසුණු අයෙකු විසින් කාන්තාවක් ඇදගෙන යන ආකාරයත්, යසුජ් වැනි නගරවල පිරිස් විසුරුවා හැරීමට ශබ්ද නිකුත් වූ ආකාරයත් වාර්තා වේ. ඉරානයේ බටහිර ලොරෙස්තාන් පළාතේ අස්නා (Azna) නගරයේ පොලිස් ස්ථානයකට විරෝධතාකරුවන් කඩා වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
නිරිතදිග චහාර්මහාල් සහ බක්තියාරි පළාතේ ලෝර්ඩෙගන් (Lordegan) හි බ්‍රහස්පතින්දා උදෑසන ඇති වූ ගැටුම්වලින් ද අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇත. කුහ්දාෂ්ට් නගරයේදී විරෝධතා හා සම්බන්ධ පළමු මරණය වාර්තා වූ අතර, එහිදී බැසිජ් අතුරු හමුදා සාමාජිකයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇත. කුහ්දාෂ්ට් නගරයෙන් විරෝධතාකරුවන් 20 දෙනෙකු සහ ටෙහෙරානයේ මලාර්ඩ් ප්‍රාන්තයෙන් මහජන සාමය කඩකිරීමේ චෝදනා මත 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ආර්ථික තත්ත්වයන් සහ මුදල් ඒකකයේ අගය වාර්තාගත ලෙස පහත වැටීම මුල් කරගනිමින් ව්‍යාපාරිකයන් සහ සිසුන් විසින් ආරම්භ කරන ලද මෙම විරෝධතා, 2022 වසරේ මහ්සා අමිනිගේ මරණයෙන් පසු ඇති වූ විශාලතම විරෝධතා රැල්ලයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද විරෝධතාකරුවන්ට එරෙහිව සිදුවන බිය ගැන්වීම්, ප්‍රචණ්ඩත්වය සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව කනස්සල්ල පළ කර ඇති අතර මර්දනය නතර කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.