ග්‍රීන්ලන්තය අල්ලා ගැනීමේ ට්‍රම්ප්ගේ වෑයම වැරදී ගිය නමුත් ග්‍රීන්ලන්තය අවට හමුදා කඳවුරු පිහිටුවාගැනීමට ට්‍රම්ප් දැරූ වෑයම සාර්ථකවී ඇත. මෙයට නේටෝ සංවිධානයෙන් අවසර ලැබීමත් සමග යුරෝපයට එරෙහිව පනවන්නට ගිය බදු ක්‍රමයද ට්‍රම්ප් හකුළාගෙන ඇත.
ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ පැවති තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව, යුරෝපීය රටවල් අටක් සඳහා පනවා තිබූ සියයට 10ක තීරු බදු ඉවත් කරගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. පෙබරවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මෙම බදු පැනවීම අත්හිටුවීමට ඔහු තීරණය කර ඇත්තේ ග්‍රීන්ලන්තය සහ ආක්ටික් කලාපය සම්බන්ධයෙන් නේටෝ සංවිධානය සමඟ නව එකඟතාවකට පැමිණීමට හැකි වීම හේතුවෙනි.මෙම හමුවේදී ග්‍රීන්ලන්තය සහ සමස්ත ආක්ටික් කලාපය පිළිබඳ අනාගත ගනුදෙනුවක් සඳහා රාමුවක් සකස් කර ගැනීමට දෙපාර්ශ්වය සමත් වී ඇති බවත්, එයින් ඇමෙරිකාවට මෙන්ම නේටෝ සාමාජිකයන්ට ද වාසි අත්වන බවත් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත. ට්‍රම්ප් විසින් මීට පෙර ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වූ යුරෝපීය රටවල් සඳහා මෙම බදු පැනවීමට සූදානම් වූ නමුත්, ඇති කරගත් නව අවබෝධය මත පදනම්ව තමා එම තීරු බදු ක්‍රියාත්මක නොකරන බව ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා තහවුරු කර තිබේ.
ඇමෙරිකාව සහ නේටෝ සංවිධානය අතර ඇති කරගත් මෙම නව රාමුව යටතේ ග්‍රීන්ලන්තයේ සහ ආක්ටික් කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟතාව පළ වී ඇත. විදෙස් වාර්තා පෙන්වා දෙන ආකාරයට, මෙම ගිවිසුම හරහා ග්‍රීන්ලන්තයේ සීමිත ප්‍රදේශවල සිය හමුදා කඳවුරු පිහිටුවීමට ඇමෙරිකාවට අවසර ලැබෙනු ඇති අතර, ගොඩබිම, මුහුද සහ ගුවන් යන අංශ තුනම ආවරණය වන පරිදි නිරීක්ෂණ හා ආරක්ෂක කටයුතු සිදු කිරීමට ද ඉඩ ප්‍රස්තාව හිමි වේ. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය මගින් ග්‍රීන්ලන්තය පාලනයට අවසරයක් නොලැබෙන අතර ආරක්ෂාවට 'මුරකුටි' පැනවීමකි.
ඊශ්‍රායලයේ අයිරන් ඩෝම් පද්ධතියට සමාන ඇමෙරිකාවේ යෝජිත ‘ගෝල්ඩන් ඩෝම්’ මිසයිල ආරක්ෂණ පද්ධතිය සඳහා නේටෝවේ සහයෝගය ලබා ගැනීම ද මෙම සාකච්ඡාවලට ඇතුළත් ය. රුසියාව සහ චීනය වැනි රටවලින් එල්ල විය හැකි තර්ජනවලට මුහුණ දීම සඳහා මෙම පද්ධතිය ස්ථාපිත කෙරෙන අතර, ග්‍රීන්ලන්තයේ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ හවුල්කාරීත්වයකින් කටයුතු කිරීමට ද යෝජිත රාමුව තුළ ඉඩ ලබා දී තිබේ.
පසුගිය ජනවාරි 17 වැනිදා ට්‍රම්ප් විසින් ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවල් අට ඉලක්ක කර ගනිමින් මෙම බදු පැනවීම නිවේදනය කර තිබුණි. ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇමෙරිකාවට හිතකර එකඟතාවකට නොපැමිණියහොත් ජුනි 1 වැනිදා සිට එම බදු ප්‍රතිශතය සියයට 25 දක්වා ඉහළ දමන බවට ද ඔහු අනතුරු අඟවා තිබූ නමුත්, වත්මන් සාකච්ඡා සාර්ථක වීමත් සමඟ එම වෙළෙඳ අර්බුදය මග හැරී ගොස් ඇත.
