the-minister-of-national-education-who-was-in-charge-of-the-english-module-the-director-sends-home

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිසුන් වෙත බෙදා හැරීමට සූදානම් කර තිබූ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක අසභ්‍ය වෙබ් අඩවියක ලිපිනයක් ඇතුළත් කර තිබීම පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව,




 ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශන සමරවීර මහතා ඊයේ (අගෝස්තු 19) සිට ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවා ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මේ බව තහවුරු කළේය.

එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ, ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය කලනි වෙලෝසා සහ සහකාර කථිකාචාර්ය නිපුනි සමරසිංහ යන මහත්මීන් දෙදෙනාගේද වැඩ තහනම් කර ඇති බවයි. අදාළ පරීක්ෂණ වාර්තාවට අනුව, මෙම ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් කටයුතු කළ නිලධාරියා වන්නේ ආචාර්ය දර්ශන සමරවීර මහතා වන අතර, එම වරද සිදුව ඇත්තේ වැඩ තහනමට ලක්වූ අනෙකුත් නිලධාරිනියන් දෙදෙනාගේ නොසැලකිලිමත්භාවය හේතුවෙනි.




ආචාර්ය දර්ශන සමරවීර මහතාට සහ සෙසු නිලධාරිනියන් දෙදෙනාට මෙන්ම, ආන්දෝලනයට තුඩු දුන් හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළව පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සිද්ධියට පෙර, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මංජුලා විදානපතිරණ මහත්මිය සිය තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්විය.

මේ අතර, හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කිරීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශන පවත්වනු ලබන අතර, එම මොඩියුලය "ටයිප්" කිරීමට අදාළ පරිගණක දත්ත උපාංග ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඔවුන් සිය භාරයට ගෙන ඇත. විමර්ශන නිලධාරීන් විසින් එම දත්ත උපාංග පරීක්ෂා කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතාගෙන් විමසීමක් කළ විට, හිටපු අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පරීක්ෂණ කමිටුව සිය වාර්තාව අද හෝ හෙට දින භාර දීමට නියමිතව ඇති බව ඔහු ප්‍රකාශ කළේය. මෙම අතරමැදි වාර්තාව ජාතික අධ්‍යාපන ආයතනයේ ආයතන මණ්ඩලයට භාර දීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එම වාර්තාව ලැබීමෙන් පසු එහි නිර්දේශ මත පදනම්ව සුදුසු විනය ක්‍රියාමාර්ග ගනු ලබන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. ජාතික අධ්‍යාපන ආයතනයේ විනය බලධාරියා ලෙස කටයුතු කරන්නේ එහි ආයතන මණ්ඩලයයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයේ වාර්තාවද බොහෝ දුරට ලබන සතිය වන විට භාර දෙනු ඇතැයි බලාපොරොත්තු වේ. අසභ්‍ය වෙබ් අඩවි සබැඳියක් මොඩියුලයකට ඇතුළත් කිරීමේ සිද්ධිය අනාවරණය වීමත් සමග, සිසුන් වෙත ඒවා බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවන ලදී. මීට අමතරව, ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන මොඩියුල සඳහා වෙබ් සබැඳි ඇතුළත් නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  (පාර්ලිමේන්තුවේ අගමැතිනි) නිලධාරීන්ට උපදෙස් දී ඇත.