මියන්මාරයේ වංචනික මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් වූ මිං (Ming) පවුලේ සාමාජිකයින් එකොළොස් දෙනෙකුට චීනය විසින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර තිබේ. චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම පිරිස මියන්මාරයේ දේශසීමා ආශ්‍රිතව ක්‍රියාත්මක වූ නීති විරෝධී ජාවාරම් රැසකට සම්බන්ධ වී සිට ඇත.
චීන දේශසීමාවට ආසන්නයේ පිහිටි මියන්මාරයේ ලෝකයිං (Laukkaing) නගරය පාලනය කළ ප්‍රබල පවුල් කිහිපයක් අතරින් මිං පවුල ප්‍රධාන තැනක් ගනී. මොවුන්ගේ පාලනය යටතේ අතිශය දුෂ්කර ප්‍රදේශයක්ව පැවති එම නගරය, කැසිනෝ සහ ගණිකා මධ්‍යස්ථානවලින් පිරුණු විනෝදජනක මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර තිබුණි. සමහරුන් හැඳින්වූයේ එය ඇමරිකාවේ 'ලාස්වේගාස්' වැන්නක් බවයි. කෙසේ වෙතත්, මියන්මාරයේ පවතින සිවිල් යුද්ධය අතරතුර එම නගරයේ බලය අත්පත් කරගත් වාර්ගික සන්නද්ධ කණ්ඩායම් විසින් 2023 වසරේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන චීනයට භාර දීමත් සමඟ ඔවුන්ගේ අපරාධ අධිරාජ්‍යය බිඳ වැටුණි.
වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ මෙම ජාවාරම් මගින් චීන කම්කරුවන් දහස් ගණනක් කොටු කර ගෙන තිබූ අතර, විදෙස් රටවල පුද්ගලයින් රවටා මුදල් ලබා ගැනීම සඳහා ලක්ෂ ගණනක් පිරිස් මෙම කඳවුරු වෙත බලහත්කාරයෙන් ප්‍රවාහනය කර තිබේ. රංගන කටයුත්තක් සඳහා තායිලන්තයට ගොස් සිටියදී මියන්මාරයේ වංචනික මධ්‍යස්ථානයක් වෙත පැහැරගෙන ගිය චීන නළුවෙකු පිළිබඳ පුවතක් පසුගිය වසරේ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්විය. මෙවැනි සිදුවීම් හේතුවෙන් බීජිං පාලනය මෙම අපරාධ ජාලය මැඩපවත්වන ලෙස මියන්මාර හමුදා රජයට දැඩි බලපෑම් එල්ල කළේය.
චීන ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන පරිදි, 2015 සිට 2023 දක්වා කාලය තුළ මොවුන් මෙම වංචනික ව්‍යාපාර සහ සූදු මධ්‍යස්ථාන හරහා යුවාන් බිලියන 10 කට (ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.4) අධික මුදලක් උපයා ඇත. ඔවුන්ගේ මෙම අපරාධ ක්‍රියා හේතුවෙන් චීන පුරවැසියන් 14 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඒ අනුව ඔවුන් ඉදිරිපත් කළ අභියාචනා ප්‍රතික්ෂේප කරමින් මෙම දඬුවම තහවුරු කළ බවත් අධිකරණය වැඩිදුරටත් සඳහන් කළේය.