seychelles-authorities-set-fire-to-a-multi-day-fishing-vessel-from-wennappuwa-and-destroyed-it-in-the-territorial-waters

වෙන්නප්පුව වෙල්ලමංකරය ධීවර වරායෙන් පිටත්ව ගිය ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් සීෂෙල්ස් මුහුදු සීමාවේදී එරට ආරක්ෂක අංශ විසින් ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරිසර සංවිධාන මැදිහත්ව කඩිනමින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.




ධීවරයින් හය දෙනෙකු සමඟ ඉකුත් දෙසැම්බර් මස 07 වන දින ධීවර කටයුතු සඳහා ජාත්‍යන්තර මුහුද බලා පිටත්ව ගොස් තිබූ "ඊශානි 1" නම් මෙම යාත්‍රාව, පසුගිය 30 වන දින සීෂෙල්ස් මුහුදු සීමාවේදී එරට වෙරළ ආරක්ෂක බළකාය සහ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී යාත්‍රාවේ සිටි ධීවරයින් ආරක්ෂක අංශ භාරයට ගැනීමෙන් අනතුරුව අදාළ යාත්‍රාව ගිනි තබා විනාශ කිරීමට සීෂෙල්ස් ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන යාත්‍රාවේ හිමිකරු වන මාරවිල තල්විල පදිංචි සුසිල් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ පසුගිය 24 වන දින වන විට මුරුසි දූපත ආසන්නයේ තිබූ තම යාත්‍රාව යම් හෙයකින් සීෂෙල්ස් මුහුදු සීමාවට ඇතුළු වී වරදක් සිදු කර ඇත්නම්, එරට නීතියට අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන දඬුවම් ලබා දීමට හැකියාව තිබූ බවයි. ඉන්දියාව සහ මාලදිවයින වැනි රටවල් පවා මෙවැනි අවස්ථාවලදී නීතිමය රාමුව තුළ කටයුතු කරන නමුත්, කැලෑ නීතිය ක්‍රියාත්මක කරමින් යාත්‍රාව මුහුදේදීම ගිනි තබා විනාශ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, රජය සහ ධීවර දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වහා මැදිහත් විය යුතු බවත් හෙතෙම කියා සිටියේය.




සීෂෙල්ස් ආරක්ෂක අංශ විසින් අදාළ යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් පරිසර හානි කළ බවට චෝදනා කරමින් වුවද, යාත්‍රාව ගිනි තැබීම හරහා ඔවුන් ඊටත් වඩා දැවැන්ත පරිසර විනාශයක් සිදු කර ඇති බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. යාත්‍රාව ගිනි තැබීම නිසා එහි තිබූ විශාල ඉන්ධන ප්‍රමාණයක්, ඔයිල් වර්ග සහ රිජිෆෝම් මුහුදට එක්වීමෙන් සිදුවන බරපතල පාරිසරික හානිය පිළිබඳව ජාත්‍යන්තර පරිසර සංවිධානවල අවධානය යොමු විය යුතු බව ඒ මහතා සඳහන් කළේය.

අදාළ යාත්‍රාව දෙසැම්බර් 30 වන දින අත්අඩංගුවට ගනු ලැබුවද ශ්‍රී ලංකාවට ඒ පිළිබඳව දැනුම් දී ඇත්තේ ජනවාරි 03 වන දින බවත්, ඒ වන විටත් යාත්‍රාව විනාශ කර අවසන්ව තිබූ බවත් වාර්තා වේ. බේරුවල ප්‍රදේශයේ පදිංචි ධීවරයින් පිරිසක් මෙහි ගමන් කර ඇති අතර, ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සීෂෙල්ස් ආරක්ෂක අංශ වෙබ් අඩවිවල සඳහන්ව ඇතත්, මේ වන තෙක් මෙරට බලධාරීන් වෙත නිල වශයෙන් ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු කර නොමැති බවටද බහුදින යාත්‍රා හිමියන් චෝදනා කරයි.

news-2026-01-05-030727