ranil-publicly-reveals-for-the-first-time-that-he-has-left-politics-video

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි මහා විහාර වෙත ගොස් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. මහානාහිමිවරුන් හමුවීමෙන් අනතුරුව විහාරස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් මේ වන විට දේශපාලනයේ නිරත නොවන බවයි.




මහානාහිමිවරුන් සමඟ පැවති මෙම හමුව පැයක පමණ කාලයක් පුරා පැවති අතර එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු සාකච්ඡා වූ බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවසර ලබා දී නොතිබුණි. සාකච්ඡාව අවසන්ව පිටව යන අවස්ථාවේදී වත්මන් නීතිපතිවරයා ඉවත් කිරීමේ සූදානම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියද, ඊට සෘජු පිළිතුරක් ලබා නොදුන් ඒ මහතා තමන් දේශපාලනයේ නොමැති බව පමණක් පවසා එතැනින් නික්ම ගියේය. "මම නං මුකුත් දන් නෑ ඒ ගැන මං ආණ්ඩුවෙත් නෑ.. මං දැන් දේශපාලනයෙත් නෑ" ලෙස ඔහු කීය.

මීට දින දෙකකට පෙර ගාල්ල මණ්ඩලපුර ශ්‍රී මිහිඳු මහා විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ රටේ පාලකයන් බුදු දහමට ප්‍රමුඛතාව ලබා දීමට බැඳී සිටින බවයි. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී පවා බුදු දහමට හිමි ප්‍රමුඛතාව පිළිගෙන කටයුතු කළ බව සිහිපත් කළ ඒ මහතා, යම් හෙයකින් එම ප්‍රමුඛතාව අහිමි වුවහොත් පක්ෂ නායකයන් මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවද පවසා සිටියේය. පැලවත්තේ චන්දිම නාහිමියන් වෙත අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.




මේ අතර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගොඩනැගීමට නියමිත නව සන්ධානය පිළිබඳවද මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි වනිතා බලවේගයේ ලේකම් චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පසුගියදා ප්‍රකාශ කළේ දෙපාර්ශ්වය එක්වීමේ මූලික සාකච්ඡා සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. එහි නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය යුතු බවත්, සක්‍රීය දේශපාලනයේ නිරත වීමේ බලාපොරොත්තුවක් නොමැති හෙයින් රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට එහි උපදේශක ධුරයක් දරනු ඇති බවත් ඇය සඳහන් කළාය.

gossiplanka image