නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වර්ෂයේ පාසල් වාරය ආරම්භයේ සිට 5 ශ්‍රේණිය සහ 6 සිට 13 දක්වා ශ්‍රේණිවල පාසල් පැවැත්වෙන වේලාව පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද, එම තීරණය මෙම වසර තුළ ක්‍රියාත්මක නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පසුගිය දිනවල රට තුළ බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය සහ ස්වභාවික ආපදා හේතුවෙන් පළාත් කිහිපයක පාසල් පද්ධතියට මෙන්ම ප්‍රවාහන පද්ධතියට ද දැඩි අලාභහානි සිදුවීම සැලකිල්ලට ගනිමින් බලධාරීන් මෙම තීරණයට එළැඹ ඇත.
ඒ අනුව පාසල් වේලාව දීර්ඝ කිරීම තුළින් ආපදාවට ලක්වූ පළාත්වල දරුවන්ට සහ අනෙකුත් පාර්ශවයන්ට යම් අපහසුතාවක් මතු විය හැකි බව නිරීක්ෂණය වී ඇති බැවින්, 2026 වසර තුළ දී පාසල් පැවැත්වෙන වේලාව පෙර පරිදිම පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පමණක් පවත්වාගෙන යාමට තීරණය කර ඇත.කෙසේ වෙතත් පාසල් වේලාවේ වෙනසක් සිදු නොවුණ ද, 2026 වර්ෂයේ සිට හඳුන්වාදීමට අපේක්ෂිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 සහ 6 ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක කෙරෙනු ඇත. මීට අදාළව නිකුත් කර ඇති උපදෙස් සංග්‍රහයන්ට අනුව 6 සිට 13 ශ්‍රේණි සඳහා දිනකට කාලපරිච්ඡේද 7ක් ක්‍රියාත්මක වන අතර එක් කාලපරිච්ඡේදයක් සඳහා මිනිත්තු 45ක කාලයක් වෙන් කළ යුතු බව දන්වා තිබේ. මීට අමතරව 5 ශ්‍රේණියේ පාසල් පැවැත්වෙන වේලාව ද පෙරවරු 7.30 සිට පස්වරු 1.30 ලෙස සංශෝධනය වන බැවින් සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් සඳහා ඊට අදාළ වන පරිදි කාලසටහන් සකස් කර ගත යුතු වේ.
නව පාසල් වාරය ආරම්භ කිරීමේදී 1 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් සියලුම ශ්‍රේණි සඳහා පළමු පාසල් වාරය 2026 ජනවාරි මස 05 වන දින ආරම්භ වනු ඇත. 6 වන ශ්‍රේණියේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ඇරඹීම ජනවාරි මස 21 වන දින සිදු කිරීමට නියමිත වුවද, ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත එම සිසුන් ඇතුළත් කර ගැනීමේ පරිපාලන කටයුතු ජනවාරි 05 දිනෙන් ඇරඹෙන සතිය තුළ සිදු කර ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. එමෙන්ම 1 ශ්‍රේණියේ දරුවන් හඳුනාගැනීමේ කටයුතු ජනවාරි 05 වනදා සිට ඇරඹෙන අතර විධිමත් ලෙස එම ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ජනවාරි මස 29 වන දින සිදු කිරීමට නියමිතව තිබේ.