මධ්‍යධරණී මුහුදේ හටගත් "හැරී" (Harry) නමැති ප්‍රබල සුළි කුණාටුව ඉතාලිය සහ මෝල්ටාව යන රටවලට දැඩි බලපෑම් එල්ල කරමින් යුරෝ බිලියනයකට වඩා වැඩි දේපළ හානියක් සිදු කර තිබේ. ජනවාරි මස මැද භාගයේදී දකුණු ඉතාලියට කඩාවැදුණු මෙම පීඩන අවපාතය, ප්‍රචණ්ඩ සුළං, අධික වර්ෂාව සහ භයානක මුහුදු රළ සමඟින් කලාපීය කාලගුණික අර්බුදයක් නිර්මාණය කළේය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉතාලියේ සිසිලි, සර්ඩීනියා සහ කැලබ්‍රියා යන ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් කිරීමට එරට සිවිල් ආරක්ෂක බලධාරීන් පියවර ගෙන තිබුණි.මුහුදු වෙරළාශ්‍රිත ප්‍රදේශවලට මෙම කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර මැසාරා ඩෙල් වල්ලෝ ප්‍රදේශයේ මුහුදු රළ මීටර් 8ක් දක්වා ඉහළ ගිය බව වාර්තා විය. වෙරළබඩ මාර්ග සහ අවන්හල් ජලයෙන් යටවීම හේතුවෙන් ජනජීවිතය අඩාල වූ අතර, සර්ඩීනියාව ඇතුළු කුඩා දූපත් වෙත ක්‍රියාත්මක වූ බෝට්ටු සහ යාත්‍රා සේවා අත්හිටුවීමට ද බලධාරීන්ට සිදු විය. සහන සේවා කටයුතු සඳහා ගිනි නිවන භටයන් 1,480කට අධික පිරිසක් යොදවා තිබූ අතර, ඔවුන් දින තුනක් ඇතුළත හදිසි මෙහෙයුම් 1,650කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කර තිබේ.
වෙරළබඩ ප්‍රදේශවලට අමතරව රට අභ්‍යන්තරයට ද අධික වර්ෂාපතනයක් පතිත වූ අතර, ඇතැම් ස්ථානවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 300ක වර්ෂාපතනයක් වාර්තා විය. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 130ක් දක්වා ඉහළ ගිය අතර, එට්නා කන්ද අසල හිම කුණාටුවකට හසුවූ ස්විට්සර්ලන්ත ජාතික පවුලක් මුදාගැනීමට ද ඉතාලි මූල්‍ය පොලිසියට හැකි විය. මෝල්ටාවට ද මෙම කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර, ප්‍රබල සුළං තත්ත්වය හේතුවෙන් මෝල්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් ඉතාලිය වෙත හරවා යැවීමට සිදුවිය.
ජනවාරි 21 වනදා වන විට කාලගුණික තත්ත්වය යම් මට්ටමකට ස්ථාවර වුවද, බලධාරීන් තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී තිබේ. මෙම කුනාටුවෙන් ඩොලර් බිලියනයක පමණ දේපළ හානියක් මේ වනවිට සිදුව ඇති අතර සිසිලි ආණ්ඩුකාරවරයාගේ ඇස්තමේන්තුවට අනුව එම කලාපයට පමණක් යුරෝ මිලියන 740ක පමණ පාඩුවක් සිදුව ඇත. සර්ඩීනියාවේ ද දේපළ හානි ප්‍රමාණය ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. හදිසි තත්ත්වය හමුවේ ඉතාලි වෙරළාරක්ෂක බලකාය නෞකා, ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා 100කට අධික ප්‍රමාණයක් යොදවා සමුද්‍රීය දූෂණය සහ වෙරළබඩ අවදානම් නිරීක්ෂණය කරමින් සිටියි.
විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ සාගර ජලය උණුසුම් වීම හේතුවෙන් මෙවැනි සුළි කුණාටු අනාගතයේදී වඩාත් ප්‍රබල විය හැකි බවයි. හැරී සුළි කුණාටුව මගින් යුරෝපයේ යටිතල පහසුකම්වලට සහ හදිසි ප්‍රතිපාදනවලට එල්ල වූ පීඩනය, දේශගුණික විපර්යාස හමුවේ රටවල් මුහුණ දෙන අභියෝගයක් ලෙස හඳුනාගෙන තිබේ. කුණාටුවේ ප්‍රබලම අවස්ථාව පහව ගොස් ඇතත්, සිදුවූ සමස්ත හානිය ගණනය කිරීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතී.