පිඹුරත්තෑව වැවේ මහදමන ප්‍රදේශයේ පිහිටි 'ඉසෙඩ් ඩී' ඇළට වැටුණු වන අලියකු දියේ ගිලී මියගොස් ඇති බව පිඹුරත්තෑව වනජීවී කාර්යාලය පවසයි. වයස අවුරුදු 25ක් පමණ වන, අඩි 7ක් පමණ උසැති මෙම අලියා මරණයට පත්ව ඇත.
පිඹුරත්තෑව වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ, පෙරේදා (මාර්තු 31) දින මෙම වන අලියා බමුණු ප්‍රදේශය ආසන්නයෙන් ගමන් කර ඇති බවයි. පසුව එය අලුත් ඔය පාලම අසලදී ඇළට වැටී, යම් වේලාවකට පසු නොපෙනී ගොස් තිබේ. ඇළට වැටී සිටි අලියා ගොඩට ගැනීමට වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් උත්සාහ කළද එය අසාර්ථක වූයේ අලියාට ගොඩට ඒමට අවශ්‍ය ශක්තිය නොතිබීම හේතුවෙනි. අලියාගේ හිසට ද තුවාල සිදුවී තිබූ බව, ගොඩගැනීමේ මෙහෙයුමට සහභාගී වූ වනජීවී නිලධාරියෙක් පැවසීය.
මහදමන දිය බෙදුම් ඇළේ තිබූ මියගිය අලියාගේ සිරුර වනජීවී නිලධාරීන් විසින් ඊයේ (අප්‍රේල් 1) බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ගොඩගනු ලැබීය. අලියාගේ මරණයට හේතුව නිශ්චය කර ගැනීම සඳහා වන පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරී කලිඳු ආරච්චි මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, අලියාගේ හිසෙහි වෙඩි වැදුණු සලකුණු තිබූ බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පිඹුරත්තෑව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක පී.ටී.කේ. පෙරේරා මහතා සහ අඩවි සත්කාර ඩබ්ලිව්. එස්.ඒ. විකුම් රත්න මහතා විසින් සිදු කරනු ලැබේ.
මෙම සිද්ධියට අදාළ ඡායාරූපයකින් දැක්වෙන්නේ 'ඉසෙඩ් ඩී' ඇළට වැටී මියගොස් සිටි අලියා ගොඩගන්නා ආකාරයයි.