ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තිවල සිදුවූ වෙනස්කම් සහ උත්සන්න වූ භූ-දේශපාලනික උණුසුම හමුවේ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය පසුගිය වසරේදී දැඩි අභියෝගයකට මුහුණ දුන් බවත්, විශේෂයෙන්ම බලාපොරොත්තු වූවාට වඩා ඉහළ මට්ටමකින් වාහන ආනයනය ඉහළ යාම ඊට ප්‍රධාන හේතුවක් වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. දීර්ඝ කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ වාහන ආනයන ඉල්ලුම එකවර මුදා හැරීමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය වී ඇති අතර, වාහන ආනයන සීමා නැවත පනවනු ඇතැයි පැතිර ගිය අසත්‍ය කටකතා හේතුවෙන් එය තවදුරටත් තීව්‍ර විය.
මෙම වර්ධනයන් විදේශ විනිමය ද්‍රවශීලතාව සහ රුපියලේ අගය කෙරෙහි සැලකිය යුතු පීඩනයක් ඇති කිරීමට සමත් විය.'2026 සහ ඉන් ඔබ්බට ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය' ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ඩිට්වා (Ditwah) සුළි කුණාටුවට පෙර කරන ලද පුරෝකථන අනුව 2026 වසරේදී උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස් වසරේ දෙවන භාගය වන විට අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා වනු ඇති බවයි. සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය හේතුවෙන් උද්ධමනය ඉහළ යාමේ හෝ පහළ යාමේ අවදානම් පවතින අතර, සැපයුම් ජාල සහ යටිතල පහසුකම් විනාශ වීම ආර්ථික වර්ධනයට බාධාවක් විය හැකි වුවද, ප්‍රතිසංස්කරණ කටයුතු සහ ඒ ආශ්‍රිත වියදම් ආර්ථික වර්ධනයට ධනාත්මකව බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් පසුගිය වසර දෙකක කාලය තුළ දක්නට ලැබුණු වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනිමින් 2026 වසරේදී සියයට 4ත් 5ත් අතර ආර්ථික වර්ධනයක් මහ බැංකුව විසින් අපේක්ෂා කරනු ලබයි.
මූල්‍ය, විදේශීය සහ මුදල් වැනි ප්‍රධාන ආර්ථික අංශ හරහා ශක්තිමත් සංචිත ගොඩනඟා ගෙන ඇති බැවින්, අතීතයට වඩා වේගයෙන් මෙම විනාශයෙන් යථා තත්ත්වයට පත්වීමේ හැකියාව ආර්ථිකයට පවතින බව මහ බැංකුවේ විශ්වාසයයි. ලෝකයේ අනෙකුත් බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද ආන්තික කාලගුණික සිදුවීම්වලට මුහුණ දීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර, එවැනි සැපයුම් පාර්ශවීය කම්පන හමුවේ උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවලට ඇත්තේ සීමිත හැකියාවක් බව ද අධිපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් ජාතික මට්ටමින් ආපදා පෙර සූදානම සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාව පවතී.
රජයේ විදේශ ණය සේවාකරණය සහ වාහන ආනයනය සඳහා වූ ඉහළ ඉල්ලුම වැනි අභියෝග මධ්‍යයේ වුවද, දළ නිල සංචිත මට්ටම වසරේ වැඩි කාලයක් ඇමරිකානු ඩොලර් බිලියන 6.0 - 6.3 අතර මට්ටමක පවත්වා ගැනීමට හැකි විය. 2025 වසර අවසාන වන විට එය ඇමරිකානු ඩොලර් බිලියන 6.8 ඉක්මවා ගිය අතර එය ආර්ථික අර්බුදයෙන් පසු වාර්තා වූ ඉහළම සංචිත මට්ටමයි. බහුපාර්ශ්වික ආයතනවලින් ලැබුණු මුදල්වලට අමතරව, දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 2.0ක පමණ ශුද්ධ විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගැනීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වී තිබේ. විනිමය අනුපාත නම්‍යශීලීත්වයට ඉඩ ලබා දෙන අතරම, වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගනිමින් සංචිත ගොඩනැගීමට මහ බැංකුව තවදුරටත් කැපවී සිටියි.