crocodile-kills-fisherman-body-found

අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල්, ආතියඩික්කට්ටු ගඟේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන යෑම හේතුවෙන් අතුරුදන්ව සිටියදී, ඔහුගේ මෘත ශරීරය අද (05) උදෑසන සොයා ගැනීමට සමත් වී තිබේ.




මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ (04) සවස් කාලයේ වාර්තා වී ඇති අතර, අදාළ පුද්ගලයා තවත් දෙදෙනෙකු සමඟ මසුන් මැරීමට ගොස් ගල්ඔය ගඟේ අනෙක් පස නවතා තිබූ බෝට්ටුවක් රැගෙන ඒම සඳහා පිහිනා යමින් සිටියදී මෙලෙස කිඹුල් ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගඟේ ජල මට්ටම ඉහළ යෑම සහ රාත්‍රී කාලයේ පැවති දැඩි අඳුරු ස්වභාවය හේතුවෙන් ඊයේ රාත්‍රී 10 පමණ වන තෙක් සිදුකළ සෝදිසි මෙහෙයුම් නතර කිරීමට සිදුවුවද, අද දිනයේ දෙවන දිනටත් අඛණ්ඩව සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස අක්කරපත්තුව පොලිසිය විසින් මෙම සිරුර සොයාගෙන තිබේ.




දින දෙකක් පුරා ක්‍රියාත්මක වූ මෙම සෝදිසි මෙහෙයුම සඳහා ප්‍රදේශවාසීන්, නාවික හමුදාව, පොලිස් නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයින් මෙන්ම සයින්දමරුදු සහ සම්මාන්තුරේ ජනසා සුබසාධන කණ්ඩායම්වල සක්‍රීය දායකත්වය ලැබී ඇති බව වාර්තා වේ.

මෙලෙස කිඹුල් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඔලුවිල් 01, අෂ්රෆ් නගරය - 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි දෙදරු පියෙකි.



සිරුර ගොඩගැනීමෙන් අනතුරුව අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි හදිසි මරණ පරීක්ෂක ඒ.එච්. අල්-ජවහීර් මහතා ඉදිරියේ මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර, කිඹුල් ප්‍රහාරය හේතුවෙන් මරණය සිදුව ඇති බවට නිගමනය කර දේහය අවසන් කටයුතු සඳහා ඥාතීන් වෙත භාර දී තිබේ.

crocodile-kills-fisherman-body-found

crocodile-kills-fisherman-body-found