tamim-iqbal-indian-spy-comment

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCB) මූල්‍ය කමිටු සභාපති එම්. නස්මුල් ඉස්ලාම් මහතා, හිටපු ජාතික ක්‍රිකට් නායක ටමිම් ඉක්බාල් 'ඉන්දීය ඔත්තුකරුවෙකු' ලෙස හඳුන්වමින් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වන විට දැඩි මතභේදයට තුඩු දී තිබේ.




ඉදිරියේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට බංග්ලාදේශය සහභාගී වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ප්‍රථම, වෙනත් කරුණු පසෙක ලා ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවට ටමිම් ඉක්බාල් මෑතකදී ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබූ අතර, නස්මුල් ඉස්ලාම් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර ඇත්තේ ඊට ප්‍රතිචාර වශයෙනි. ආරක්ෂක හේතුන් මත ඉන්දියාවේ සංචාරය නොකිරීමට BCB පාලක මණ්ඩලය තීරණය කිරීම සහ අයි.පී.එල් (IPL) තරගාවලිය වෙනුවෙන් මුස්ටෆිසර් රහමන්ව නිදහස් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ඉල්ලා සිටීම වැනි පසුබිමක් තුළ ටමිම් මෙම අදහස් පළ කර තිබුණි.

මෙම සිදුවීමෙන් පසු එල්ල වූ දැඩි විරෝධය හමුවේ නස්මුල් ඉස්ලාම් සිය ෆේස්බුක් සටහන ඉවත් කර ගත්තද, එහි තිර ඡායාරූප (screenshots) මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වී ඇති අතර, ඔහු එම සටහන මගින් දක්වා තිබුණේ බංග්ලාදේශ ජනතාව තමන්ගේ දෑසින්ම තවත් තහවුරු වූ ඉන්දීය ඔත්තුකරුවෙකුගේ මතු වීම දැක ගත් බවයි.




මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සුබසාධන සංගමය (CWAB) සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අදාළ නිලධාරියා ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් දන්වා තමන් BCB සභාපතිවරයා වෙත ලිපියක් යොමු කළ බවයි. වසර 16ක් පුරා රට නියෝජනය කළ බංග්ලාදේශ ඉතිහාසයේ සාර්ථකම ආරම්භක පිතිකරුවා සම්බන්ධයෙන් මණ්ඩලයේ වගකිවයුතු නිලධාරියෙකු සිදු කළ මෙම ප්‍රකාශය මුළුමනින්ම හෙළා දකින බවත්, ටමිම් වැනි ක්‍රීඩකයෙකුට පමණක් නොව රටේ ඕනෑම ක්‍රීඩකයෙකුට මෙවැනි ප්‍රකාශ සිදු කිරීම පිළිගත නොහැකි බවත්, එය සමස්ත ක්‍රිකට් ප්‍රජාවටම සිදු කළ අපහාසයක් බවත් එම සංගමය අවධාරණය කරයි.

වගකිවයුතු තනතුරක් දරන අධ්‍යක්ෂවරයෙකු පොදු වේදිකාවක මෙවැනි ප්‍රකාශ සිදු කිරීම මගින් පාලක මණ්ඩල නිලධාරීන්ගේ චර්යා ධර්ම පිළිබඳව බරපතල ගැටළු මතු වන බව පෙන්වා දෙන ක්‍රීඩක සුබසාධන සංගමය, අදාළ නිලධාරියා වගවීමකට ලක් කර සුදුසු පියවර ගන්නා ලෙස බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියි.



මෙම සිදුවීම සම්බන්ධයෙන් ටස්කින් අහමඩ්, මොමිනුල් හක් සහ ටයිජුල් ඉස්ලාම් වැනි වත්මන් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් ද සමාජ මාධ්‍ය ඔස්සේ සිය දැඩි නොසතුට පළ කර ඇත. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු පිළිබඳව මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු භාවිතා කළ වචන කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, එය නීරස සහ තම ක්‍රිකට් සංස්කෘතියට පටහැනි ක්‍රියාවක් බවත් ටයිජුල් ඉස්ලාම් ප්‍රකාශ කර සිටියේය. වගකිවයුතු තනතුරක් දරමින් මෙවැනි ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කිරීම මගින් වෘත්තීයභාවය, ආචාර ධර්ම සහ නිලධාරීන්ගේ හැසිරීම් රටාව පිළිබඳ ගැටළු මතු වන බැවින් අදාළ අධ්‍යක්ෂවරයා ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට අවම ගෞරවයක් හෝ ලබා නොදී ප්‍රසිද්ධියේ නින්දාවට පත් කිරීම මගින් අදාළ නිලධාරියාගේ මූලික විනය පිළිබඳ ගැටළු මතු වන බව සඳහන් කළ මොමිනුල් හක්, මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බවත් ඊට එරෙහිව කඩිනම් සහ දැඩි පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටියේය. ක්‍රිකට් යනු බංග්ලාදේශයේ ජීවය බව පෙන්වා දුන් ටස්කින් අහමඩ්, රටට විශාල දායකත්වයක් ලබා දුන් හිටපු නායකයෙකු ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙවැනි ප්‍රකාශ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට හිතකර නොවන බවත්, අදාළ බලධාරීන් අනාගතයේදී වඩාත් වගකීම් සහගත ස්ථාවරයක් අනුගමනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.