දෙහිවල, ගල්කිස්ස, කළුබෝවිල ආදී ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පාර්ශව කිහිපයක් අතර සිදු කෙරෙන වෙඩි තැබීම්වලින් මේ වන විට මියගිය ගණන දහයකටද ආසන්නය. මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන මෙම වෙඩි තැබීම් සිදු කෙරෙන අතර පොලිසිය පවසන්නේ මෙම වෙඩි තැබීම්වල නිමාවක් තවමත් දක්නට නොමැති බවය.
පසුගිය දින කිහිපයකට පෙර තවත් වෙඩිතැබීම් තුනක් මෙම ප්‍රදේශ වලීන් වාර්තා වූ අතර බඩෝවිට අසංක සහ සමන්ත පාර්ශ්ව අතර ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම් සිදුව ඇතැයි විමර්ශන නිලධාරීහු සැක කරති. මෙම පාර්ශව අතර මීට පෙර සිදු වූ වෙඩි තැබීම් වලට සම්බන්ධ තුවක්කුකරුවන්, පැදිකරුවන් සහ ඒවාට ආධාර අනුබල දුන්නවුන් කිහිප දෙනකුම් අත්අඩංගුවට ගත්තද පාර්ශ්ව අතර සිදු කෙරෙන මරාගෙන මැරීම් තවමත් නතර වී නැති බව පොලිසිය පැවැසීය.
මෙම පාර්ශ්වයන් අතර සිදු වූ වෙඩි තැබීම්වල ආසන්නතම සිදුවීම් දෙහිවල වනරතන පාර, කළුබෝවිල බෝධියවත්ත සහ දෙහිවල මුහුදු මාවත ප්‍රදේශ වලින් වාර්තා වූ අතර එම වෙඩි තැබීම් සිදු කළ තුවක්කුකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක විය.මේ අනුව ඉකුත් වසරේ දෙසැම්බර් මස සහ 2026 ජනවාරි මස මුල් සතිය තුළ වෙඩි තැබීම් තුන වාර්තා වී තිබිණි.2025-12-06 දින දෙහිවල වනරතන පාර ඒ ක්වාර්ටස් ක්‍රීඩා පිටිය අසලදී ගිනි අවි දෙකකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කෙරිණි.
එමෙන්ම 2025.12.30 දින තවත් වෙඩි තැබීමක් සිදු වූ අතර එයද දෙහිවල පොලිස් වසමේ බෝධියවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය. මෙම වෙඩිතැබීම පුද්ගලයකු ඉලක්කකොට සිදු වූ අතර මෙහිදී එම වෙඩි තැබීම ආසන්නයේ සිටි වයස අවුරුදු 16ක දැරියක් තුවාල ලබා රෝහලට ඇතුළත් කරන්නට විය. මෙම වෙඩි තැබීම් දෙකේම තුවක්කුකරුවන්ගේ ඉලක්කය ව තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවකු වූ බඩෝවිට අසංකගේ සමීපතමයන් බව විමර්ශන නිලධාරීහු කීහ. අසංකට එරෙහි පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම් සිදු කර ඇති බවට විමර්ශන නිලධාරින් සැක කළ අතර මෙම වෙඩි තැබීම් දෙකට ඊටන් එක ලෙස 2026 වසර ඇරැඹීමත් සමග දෙහිවල මුහුදු මාවතේ හෝටලයක සිටි ව්‍යාපාරිකයකු වෙඩි තබා මරා දැමූ බව එම නිලධාරීහු වැඩිදුරටත් පැවැසූහ.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන සම්බන්ධයෙන් දෙහිවල, කොහුවල පොලිසිය ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මෙන්ම බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයද විමර්ශන ආරම්භ කළහ.ඒ අනුව විමර්ශන නිලධාරීන්ට දෙහිවල වනරතන පාරේ සිදු කළ වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි එක් වෙඩික් කරුවකු කොටු කර ගැනීමට හැකි විය. විමර්ශන නිලධාර්න් පවසන්නේ ඔහු 'මුට්ටියා' නමැති පුද්ගලයකු බවය. ඔහු කොටු වූයේ බෝර 12 තුවක්කුවක්ද සමඟය.කෙසේ වෙතත් ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී වනරතන පාරේ වෙඩි තැබීම සිදු කළ අනෙක් වෙඩික්කරු හඳුනාගැනුණු අතර එම වෙඩි තැබීම එම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පාර්ශ්ව දෙකක් අතර ඇතිව තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් මත සිදු වූවක් බවට අනාවරණය කරගත හැකි විය.
මේ අතර සිදු කළ විමර්ශනයේදී වනරතන පාරේ වෙඩි තැබීම සිදු කළ අනෙක් තුවක්කුකරුද හඳුනාගත හැකි වුවද ඔහු කොටුකර ගැනීමට නිලධාරීන්ට හැකි වුයේ නැත.වනරතන පාර් වෙඩි තැබීමෙන් දින 24කට පමණ පසු කළුබෝවිල බෝධියවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීම සිදු වූ අතර ඊට සම්බන්ධ තුවක්කුකරු කවුද යන්න හඳුනා ගැනීමත් සමඟ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය ඔහුගේ රූපයට සමාන රුවක් සහිත චිත්‍රයක් මහජනයා වෙතද යොමු කළේය.
පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ "සමර නමැති මෙම සැකකරු ඉකුත් වසරේ දෙසැම්බර් 30 වැනි දින කළුබෝවිල ශ්‍රී සරණංකර පාරේදී වයස අවුරුදු 16 ක දැරියකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කෙරෙන විර්ශනයට අවශ්‍ය වෙඩිකරු ලෙස හදුනා ගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා යම් තොරතුරක් වෙතොත් පොලසියට දැනුම් දෙන ලෙසත්ය.මේ අනුව විමර්ශන කණ්ඩායම් කිහිපයක් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබූ අතර සිද්ධියෙන් සති තුනකට පමණ පසු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් ක්‍රිශාන්ත (78495) යන නිලධාරියාට ඔත්තුකරුවකු විසින් ඒ සම්බන්ධයෙන් තොරතුරක් ලබාදී තිබිණි.
"සර් සර්ලා හොයන "සම්මා" කොට්ටාව බස් ස්ටෑන්ඩ් එකට එනවා. ආවොත් ඌව අල්ල ගන්න පුළුවන්".එම තොරතුරු එම කොට්ඨාසයේ ස්ථානාධිපති සුමිත් ජයසිංහට දැනුම් දීමෙන් අනතුරුව බුද්ධි ස්ථානාධිපති බස්නායක දකුණු කණ්ඩායමක් කොට්ටාව බලා ගිය අතර ලද ඔත්තුවට අනුව බස්නැවතුම් පොළට පැමිණෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.සැකකරු මිරිහාන ඒකකයට ගෙනා නිළධාරීන් ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු සමීර නමැත්තකු බවත් වනරතන පාරේ සහ කළුබෝවිල බෝධියවත්තේ වෙඩිතැබීම් දෙකේම වෙඩික්කරු ලෙස ක්‍රියාකර ඇත්තේ මොහු බවටත් නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.
බඩෝවිට අසංකට එරෙහි පාර්ශ්වයේ සමන්ත සහ අවිශ්ක නමැත්තන් මෙම වෙඩි තැබීම දෙක මොහු ලවා මෙහෙයවා ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වි තිබේ.විමර්ශන නිලධාරීන් පැවැසුවේ මොහු යුද හමුදාවේ රාජකාරී කළ සෙබළෙකු බවය. එලෙස රාජකාරි කළ ඔහු පසුව යුද හමුදාවෙන් පැනගොස් ඇති අතර ඉන් අනතුරුව නිකුත් කළ පොදු සමා කාලයේදී මොහු යුද හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත්ව ඇති බවයි. කෙසේ වෙතත් හමුදාවෙන් ඉවත් වීමෙන් පසු මොහු ත්‍රිරෝද රථ සහ වෙනත් සොරකම් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මොහු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇතැයි කියන විමර්ශන නිලධාර්න් පසුව වසරකට ආසන්න කාලයක් ඇප ලබාගත නොහැකිව සිටියදී විදෙස්ගතව සිටින සමන්ත නමැත්තාගේ සහායෙන් මොහු ඇප ලබාගෙන නිදහස්ව පැමිණ ඇති බවත් නිලධාරීන් පැවැසුවේය.
පසුව සමන්තගේ උපදෙස් මත සැකකරු මෙම වෙඩි තැබීම් වලට සම්බන්ධ වී ඇති බවත් එම වෙඩි තැබීම්වල ප්‍රතිඵලයක් ලෙස රුපියල් ලක්ෂ 6කට ආසන්න මුදල් සහ මත්කුඩු මොහුට ලබාදී ඇති බවත් ප්‍රශ්න කිමේදී සැකකරුගෙන් හෙළි වූ බව විමර්ශන නිලධාරීන් අනාවරණය කළේය. සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසු වෙඩි තැබීම සඳහා උපයෝගි කරගත් මිලිමීටර් නවය වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක්ද සොයා ගැනීමට නිලධාහු සමත් වූහ. එමෙන්ම ඔහු ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ කළුබෝවිල බෝධිය වත්තේදී 16 හැවිරිදි දැරියකට තමා වෙඩි නොතැබූ බවත් වෙඩි තැබීමට ඉලක්කගත පුද්ගලයා එම දැරිය එකවරම තල්ලු කිරීම නිසා ඇයට් වෙඩි වදින්නට ඇති බවත් ඔහු පවසා ඇතැයි විමර්ශන නිලධාරීහු කියති.
දෙහිවල වනරතන පාරේදී දුමින්ද නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඉලක්ක කරගෙන පැමිණි බවත් දින 2ක් තිස්සේම ඔහුට වෙඩි තැබීමට උත්සාහ කළද එය හරි ගියේ නැති බවත් තුන්වැනි දින එය සාර්ථක වූ බවත් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇතැයි කියති.සැකකරු සන්තකයේ තිබු ගිනි අවිය දෙහිවල ප්‍රදේශයේ පාවේ නිවෙසක සඟවා තිබියදී සොයාගෙන තිබේ.සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව ඇති බවත් විමර්ශන නිලධාරිහු කියති
(කීර්ති මෙන්ඩිස්)