sri-lanka-weather-alert

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අයහපත් කාලගුණික තත්ත්වයක් නිර්මාණය වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරුමැද හා උතුරු පළාත්වලට අධික වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බැවින් අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්ක හරහා ගලා බසින ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.




මෙම පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 පමණ වන විට පොතුවිල් සිට කිලෝමීටර් 490ක් පමණ දුරින් ගිනිකොන දෙසින් ස්ථාපිතව පැවති අතර, එය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ දැඩි ප්‍රවණතාවක් පවතී. බටහිරට බරව වයඹ දෙසට ගමන් කරන මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විටත් දිවයිනේ දිස්ත්‍රික්ක 11ක පිහිටි ප්‍රධාන ජලාශ සහ වැව් 35ක් වාන් මට්ටමට පැමිණීම හෝ වාන් දොරටු විවෘත කිරීම සිදු කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එබැවින් අදාළ ගංගා නිම්න ආශ්‍රිතව ජීවත් වන ජනතාව සහ පහත්බිම් වාසීන් ගංවතුර අවදානම පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් පසුවිය යුතු බවට උපදෙස් ලබා දී තිබේ.




අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (08) දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වීමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැඩිව අවවාද කරයි. විශේෂයෙන් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු තීරයේ රළ මීටර් 2.5ත් 3.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්වභාවයක් ගත හැකිය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද, සෙසු ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරේ. තවද මධ්‍යම කඳුකරය ඇතුළු පළාත් කිහිපයක සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බැවින්, අකුණු අනතුරු සහ තද සුළං පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.