
ගොකරැල්ල ප්‍රදේශයේ නිවසක සිටි විවාහක කාන්තාවක් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මුහුණට යමක් අල්ලා සිහි නැති කර පැහැරගෙන ගිය බවට ඇයගේ සැමියා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් පදනම් කරගෙන ගොකරැල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි. කෙසේ වෙතත්, අදාළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඇය පැහැරගැනීමකට ලක්ව නොමැති බවත්, තම අනියම් පෙම්වතා වන යුද හමුදා සෙබළෙකු සමග සැලසුම් සහගතව පලා ගොස් ඇති බවත් ය.
අනියම් සැමියා සමඟ පලා ගොස් දින තුනක් ගත කිරීමෙන් අනතුරුව, සිය නීත්‍යානුකූල විවාහක සැමියා සිහිපත්වීමෙන් ඇති වූ දැඩි පසුතැවිල්ල සහ වේදනාව හේතුවෙන් ඇය නැවත නිවසට පැමිණීමට තීරණය කර ඇත. ඒ අනුව ඇය වරකාපොළ පොලිසියට ගොස් භාර වී ඇති අතර, වරකාපොළ පොලිසිය විසින් ගොකරැල්ල පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ඇයව යළි රැගෙනවිත් තිබේ.
මීට වසර දෙකකට පමණ ඉහතදී විවාහ වී ඇති මෙම කාන්තාවට දරුවන් නොමැති අතර,
ඇය පිට පළාතක පදිංචි යුද හමුදා සෙබළෙකු සමඟ කලක සිට සබඳතාවක් ගොඩනගා ගෙන තිබූ බව විමර්ශනවලදී හෙළි වී ඇත. සැමියා රැකියාවට ගිය අවස්ථාවක් බලා ඇය පෙම්වතා සමඟ පලායාමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා නිවසේ තනි නොතනියට සිටි තම සහෝදරියගේ දහතුන් හැවිරිදි පාසල් යන පුත්‍රයා ද හවුල් කරගෙන ඇත.
තමා මාමා කෙනෙකු සමඟ යන බවත්, මේ පිළිබඳව යමෙක් විමසුවහොත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් මුහුණට යමක් අල්ලා සිහි නැති කර පැහැරගෙන ගිය බවට පවසන ලෙසත් ඇය එම දරුවාට උපදෙස් දී තිබේ. නිවසට පැමිණි සැමියා සිය බිරිඳ පිළිබඳව විමසූ විට බාලවයස්කාර දරුවා ද නැන්දාගේ ඉල්ලීමට එකඟව කලින් උගන්වා තිබූ පරිදිම ව්‍යාජ තොරතුර පවසා ඇති අතර, එම ප්‍රකාශය විශ්වාස කළ සැමියා ගොකරැල්ල පොලිසිය වෙත ගොස් පැමිණිලි කර ඇත.
යතුරුපැදියකින් පැමිණ කාන්තාවක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට මුල සිටම සැකයක් පැවති අතර, පසුව සිදුකළ තාක්ෂණික විමර්ශනවලදී සියල්ල හෙළි වී ඇත. පලාගිය කාන්තාව සහ බාලවයස්කාර දරුවා අතර හුවමාරු වූ කෙටි පණිවිඩ පරීක්ෂා කිරීමේදී, නිවසේ අය තමා සොයන්නේද යන්න සහ ඔවුන් කියන්නේ මොනවාද යන්න පිළිබඳව ඇය දරුවාගෙන් විමසා ඇති බව තහවුරු වී තිබේ.
පොලිසිය විසින් දරුවාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී "නැන්දා එපා කියූ නිසා කාටවත් ඇත්ත නොකී" බව දරුවා පිළිගෙන ඇත. එසේම නිවසේ සිටි සුරතල් බල්ලා තමා පසුපස පැමිණීම වැළැක්වීම සඳහා ඌව කාමරයක දමා දොරගුළු ලා යාමට තරම් ඇය සැලකිලිමත් වී තිබූ බව ද පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය විය.
අනියම් සැමියා මාවතගම ප්‍රදේශයෙන් කුලී පදනම මත නිවසක් ගෙන තිබුණ ද, සැමියා සිහිවීම නිසා ඇය ආපසු පැමිණීමට තීරණය කිරීමෙන් පසු සෙබළාගේ ඥාති කාන්තාවක විසින් වෑන් රථයකින් ඇයව වරකාපොළ ප්‍රදේශයට ගෙනැවිත් දමා ඇති බව හෙළි වී තිබේ. වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි, ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.අයි.බී. විජයරත්න මහතා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
Comments
Post a Comment
Your comment will be visible after approval