පසුගිය සතියේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සහ ඊට සමගාමීව හමා ගිය සුළි කුණාටුව හේතුවෙන් රටේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී අතිවිශාල පිරිසක් අවතැන් විය. උස් බිම් පහත් බිම් භේදයකින් තොරව ගලා ගිය මෙම මහා ජල කඳ හමුවේ විපතට පත් ජනතාව දෙස බලා අනෙක් ප්‍රදේශවල ජනතාවගේ හදවත් කම්පාවට පත් වූ අයුරු අපි දුටුවෙමු. එම කම්පනය හුදු හැඟීමකට පමණක් සීමා නොකළ බොහෝ දෙනා තම ශක්ති ප්‍රමාණයෙන් ආධාර ද රැගෙන විපතට පත් වූවන් සොයා රට වටා හතර දෙසින් පැමිණීමට පටන් ගත්හ.
මෙලෙස මහ වැසි මැද ආධාර රැගෙන පැමිණි පිරිස් අතර දකුණේ බළපිටිය ප්‍රදේශයේ සිට පැමිණි තරුණයෙකුට අත්විඳීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය විය. අතුරුගිරිය ප්‍රදේශයට ආසන්න ස්ථානයකදී බෝට්ටුවක් මගින් ආධාර බෙදා දීමට යමින් සිටියදී දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වූ පිරිසක්, මෙම ආධාර කණ්ඩායම ජන ශූන්‍ය ස්ථානයකට ගෙන්වාගෙන තිබුණි. එතැනදී ඔවුන්ට පහර දී භාණ්ඩ කොල්ලකෑමට තැත් කළ බවත්, අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් දකුණේ ජනතාවට ද අපහාස කළ බවත් අදාළ තරුණයා වීඩියෝවක් මගින් සමාජයට හෙළි කළේය. දැඩි වෙහෙසක් දරාගෙන විපතට පත් වූවන්ට සහන සැලසීමට පැමිණි පිරිසකට සිදුකළ මෙම ම්ලේච්ඡ ක්‍රියාව පිළිබඳ පුවත අසන්නට ලැබුණු සෑම අයෙකුගේම සිතෙහි ඇති වූයේ දැඩි කෝපයකි.
මෙම සිදුවීමෙන් දිනකට පමණ පසු සහන සේවකයන්ට පහර දුන් පිරිස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව කියැවෙන පුවතක් ඡායාරූප ද සහිතව සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරණය වන්නට විය. ඊට අදාළ විවිධ සටහන් (Captions) සහ පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප ද ඊට එක්කර තිබූ අතර, මෙය දුටු බොහෝ දෙනා අපරාධකරුවන්ට දඬුවම් ලැබීම ගැන සතුටට පත් වූහ. එහෙත් එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමේදී හෙළි වූයේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මූලස්ථානය තහවුරු කළේ අදාළ සැකකරුවන් කවුරුන්ද යන්න හඳුනාගෙන සිටියද, මෙම සටහන තබන මොහොත වන විටත් ඔවුන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොතිබූ බවයි. ඒ අනුව සැකකරුවන් ඇල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරකි.
මෙවැනි ජාතික ආපදා අවස්ථාවකදී අසත්‍ය තොරතුරු සමාජගත වීම කෙතරම් භයානකද යන්නට මෙය හොඳම උදාහරණයකි.
මීට අමතරව ඇතැම් ප්‍රදේශවල වැව් බැමි පුපුරා යන බවට පැතිර ගිය බොරු කටකතා හේතුවෙන් අනිසි බියක් ඇති කරගත් ජනතාව තම නිවෙස්වල වටිනා කියන දේ පවා දමා හිස් ලූ ලූ අත දුව යන්නට වූහ. මෙම අනවශ්‍ය කලබලය නිසා නිවාස අතහැර ගිය පිරිස්වලට, පැය කිහිපයකට පසුව පැමිණි සැබෑ ගංවතුරෙන් තම දේපළ බේරා ගැනීමට නොහැකි විය. රන් භාණ්ඩ සහ වටිනා ලිපි ලේඛන පවා විනාශ වී යාමෙන් එම ජනතාවට සිදු වූයේ පිරිමැසිය නොහැකි පාඩුවකි.
වර්තමානයේ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි තාක්ෂණයන් යොදා ගනිමින් නිර්මාණය කරන ව්‍යාජ ඡායාරූප සහ වීඩියෝ මගින් ජනතාව මුළා කිරීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබේ. තාක්ෂණය ගැන එතරම් අවබෝධයක් නොමැති සාමාන්‍ය ජනතාව මෙවැනි දේ සත්‍ය ලෙස බාර ගැනීමෙන් සහ ඒ මත පදනම්ව තීරණ ගැනීමෙන් සිදුවන හානිය අතිමහත්ය. අතේ ඇති ජංගම දුරකථනයෙන් යමක් සමාජගත කිරීමට පෙර එහි සත්‍යතාව ගැන මදක් විමසා බැලීමත්, වගකීම් සහගතව කටයුතු කිරීමත් මෙවැනි විපත් මැද සිදු කරන ලොකුම සමාජ සත්කාරය බව සිහි තබා ගත යුතුය.
Comments
Post a Comment
Your comment will be visible after approval