අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රඳවා සිටින තක්ෂි නමැති කාන්තා සැකකාරිය සමඟ සමීප සබඳතා පැවැත්වූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය භාරයේ දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින නන්ද කුමාර් තක්ෂි නැමැති මෙම සැකකාරිය සමඟ අදාළ පොලිස් නිලධාරියා අනිසි ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.විශේෂයෙන්ම මෙම සැරයන්වරයා අදාළ සැකකාරිය සමඟ එකම බිස්කට් එකක් දෙකට කඩාගෙන ආහාරයට ගෙන ඇති බවත්, හස්ත සංඥා මාර්ගයෙන් රහසිගතව අදහස් හුවමාරු කරගෙන ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. රාජකාරිමය වගකීම් පැහැර හරිමින් රැඳවියන් සමඟ මෙලෙස කටයුතු කිරීම හේතුවෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් මොහුගේ රාජකාරී වැඩ තහනමට ලක් කර වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම අපරාධයේ ප්‍රධාන මෙහෙයුම්කාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සහ ඇයගේ රුවට සමානකම් කියන මෙම සිද්ධියට සම්බන්ධ නන්ද කුමාර් තක්ෂි යන දෙදෙනාම මේ වන විට පොලිස් භාරයේ පසුවෙයි. ඝාතන සිද්ධියෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී සකස් කරගත් ව්‍යාජ තුර්කි ගුවන් ගමන් බලපත්‍රයේ මුද්‍රා දෝෂයක් හේතුවෙන් නේපාල ආගමන විගමන නිලධාරීන් එය අත්අඩංගුවට ගෙන තිබූ අතර,
ඉන්පසු ඇයට රටින් පලා යාම සඳහා වෙනත් ක්‍රමවේදයක් සකස් කිරීමට අපරාධ කල්ලිය උත්සාහ කර තිබුණි.
එහිදී ජේ.කේ. බායි නැමැත්තා විසින් ඉෂාරා සෙව්වන්දිගේ රුවට සමාන යාපනයේ පදිංචි තක්ෂි නමැති මෙම කාන්තාව ඉන්දියාවේ සිට නේපාලයට ගෙන්වාගෙන ඇත්තේ, ඇයගේ විස්තර භාවිතා කර ඉෂාරාට තුර්කියට සහ මැලේසියාවට පලා යාම සඳහා නව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර දීමේ අරමුණෙනි. මොවුන් නේපාලයේ ගත කළ කාලය තුළ ඉෂාරා සෙව්වන්දි, ජේ.කේ. බායි සහ සිලෝන් බායි යන අය මාසයක පමණ කාලයක් එකම කාමරයක රැඳී සිට ඇති බව ද විමර්ශනවලදී තහවුරු වී ඇත.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදු කළ දීර්ඝ සහ රහසිගත විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් නේපාලයේ කත්මණ්ඩු නුවර සැඟව සිටියදී සොයාගන්නා ලදී. ඒ අනුව ඉකුත් සැප්තැම්බර් 13 වැනිදා එරට පොලිසියේ සහාය ඇතිව ඉෂාරා සෙව්වන්දි, ජේ.කේ. බායි, ජැෆ්නා සුරේෂ්, තක්ෂි, ගම්පහ බබා සහ නුගේගොඩ බබී ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව දිවයිනට රැගෙන එනු ලැබීය.
Comments
Post a Comment
Your comment will be visible after approval