ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ දශක හයකට අධික කාලයක් පුරා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (22) දින ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් විසින් තහවුරු කරන ලදී.
මියයන විට 84 වන වියේ පසුවූ ඒ මහතා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන අතර හෙළ කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි. 1941 වසරේ පෙබරවාරි මස 11 වන දින උපත ලැබූ එදිරිසිංහ මහතා ශ්‍රී ලාංකේය සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍ය කලාවේ මුල්කාලීන කුළුණක් ලෙස ද හැඳින්විය හැකිය.
ඉතා ලාබාල වියේදීම කලා ලොවට පිවිසි ඒ මහතා 1953 වසරේදී ගුවන්විදුලි සංස්ථාවේ 'ළමාපිටිය' වැඩසටහනට සම්බන්ධ වූ අතර පාසල් වේදිකා නාට්‍ය තරගාවලියකදී ඇන්ටන් චෙකොෆ්ගේ 'ප්‍රොපෝසල්' නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් දකුණු පළාතේ හොඳම නළුවා සම්මානය දිනාගැනීමට සමත් විය.
සෙනෙට් මන්ත්‍රී රෙජී පෙරේරා මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද 'සැඩොල් කඳුළු' චිත්‍රපටය හරහා 1966 වසරේදී සිනමාවට පිවිසි ඒ මහතා සිය ප්‍රථම සිනමා රංගනය ලෙස භික්ෂූන් වහන්සේ නමකගේ චරිතයක් නිරූපණය කළේය.
චිත්‍රපට 35කට අධික සංඛ්‍යාවක රංගන දායකත්වය ලබා දී ඇති ඒ මහතා, 1982 වසරේ ජර්මනියේ පැවති මැන්හයිම් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කළ 'අධිෂ්ඨානය' චිත්‍රපටය හරහා ජාත්‍යන්තර අවධානය දිනාගැනීමට සමත් විය. කලා කටයුතුවලට අමතරව වෘත්තීය ජීවිතයේ විවිධ තනතුරු හෙබවූ එදිරිසිංහ මහතා 1965 දී ලංගම ලිපිකරුවෙකු ලෙසත්, පසුව 1986 සිට 1998 දක්වා මහවැලි අධිකාරියේ සංස්කෘතික කටයුතු පිළිබඳ කළමනාකරු ලෙසත් සේවය කළ අතර 2008 වසරේදී වාරිමාර්ග අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.
සාහිත්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ද ඉහළ දායකත්වයක් දැක්වූ ඒ මහතා 'අප සතු මිණිමුතු', 'කට වට කර වැට', 'ජලය සහ මිනිසා', 'ආදරය සහ විවාහය', 'අපේ තාත්තා' සහ 'ගුරු භූමිකා නිරූපණය' වැනි කෘති ඇතුළුව ග්‍රන්ථ 25කට ආසන්න සංඛ්‍යාවක් රචනා කර ඇති අතර ළමා සාහිත්‍ය කෘති අටක් ද ඒ අතර වෙයි.
සිය කලා දිවිය තුළ සම්මාන රැසකින් පිදුම් ලැබූ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා 'හිම කතර' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1985 වසරේදී හොඳම සහාය නළුවාට හිමි ජනාධිපති සම්මානය දිනාගත් අතර 1990 වසරේදී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අතින් 'කලා සූරි' සම්මානයෙන් පිදුම් ලැබීය. මීට අමතරව 2003 වසරේ සුමති සම්මාන උළෙලේදී යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයත්, 2010 වසරේ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී 'ප්‍රතිභා ප්‍රභා' ගෞරව සම්මානයත් හිමි කරගත් ඒ මහතාට 2006 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලය මගින් ගෞරව ආචාර්ය උපාධියක් ද පිරිනමන ලදී.