prison-superintendent-was-attacked-before-63-cameras-were-broken

 බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් විසින් බන්ධනාගාර අධිකාරිවරයාට පහර දීමට පෙර, බන්ධනාගාරයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) 63ක් මුළුමනින්ම විනාශ කර දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කොසු, ඉදල් සහ ගල් මුල් භාවිත කරමින්

සැකකරුවන් විසින් අදාළ කැමරා පද්ධතියට පහර දී මෙම හානි සිදුකර ඇති බව රත්ගම පොලිසිය පවසයි.




පොලිසිය සඳහන් කරන පරිදි මෙම ගැටුමට ආසන්නතම හේතුව වී ඇත්තේ බන්ධනාගාරයේ රඳවා සිටින 'පියුම් හස්තික' නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ විවාහ මංගල්‍යයයි. බන්ධනාගාරය තුළදී නිසි අවසරය ඇතිව ඔහුගේ විවාහ ලියාපදිංචිය සිදුකර තිබුණද, ඒ වෙනුවෙන් නිලධාරීන්ට සහ සෙසු රැඳවියන්ට සාදයක් පැවැත්වීමට කළ ඉල්ලීම බන්ධනාගාර අධිකාරිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් රැඳවියන් ඊට උරණ වී මෙලෙස කලහකාරීව හැසිරී ඇත.

පසුගිය 07 වැනිදා දිවා ආහාරය බෙදා දෙන අවස්ථාවේදී සිරමැදිරිවලින් පිටතට පැමිණ සිටි රැඳවියන් පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයා අදාළ ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇත.


එහිදී රැඳවියන් දෙදෙනෙකු විසින් එල්ල කළ පහරදීම් හමුවේ බන්ධනාගාර අධිකාරිවරයාගේ මුහුණට සහ නාසයට තුවාල සිදුව තිබේ. විවාහ සාදයේ ගැටලුවට අමතරව, විශේෂ අංශයේ සිටින රැඳවියන් ආරක්ෂිත කැමරා සක්‍රීයව ක්‍රියාත්මක වන වෙනත් කුටි වෙත මාරු කිරීමට ගත් උත්සාහයක්ද මෙම පහරදීමට හේතු වී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති අතර රත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.