police-statement-regarding-road-closures-due-to-the-kelaniya-duruthu-perahera-this-evening-23

 කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පුණ්‍යෝත්සවයට සමගාමීව හෙලේනා බාලිකා විද්‍යාලය මඟින් සංවිධානය කරනු ලබන පෙරහර හේතුවෙන් අද දින කැලණිය පොලිස් වසම තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

මෙම පෙරහර 2025 වසරේ දෙසැම්බර් මස 23 වන අද දින පස්වරු 3.00 ට හෙලේනා ප්‍රාථමික විද්‍යාලය අසලින් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, එතැන් සිට ගල්බොරැල්ල සහ වලන්කඩ හන්දිය පසුකරමින් විහාර මාවතට පිවිස, බියගම මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුම වෙත පැමිණ කැලණිය රජමහා විහාරස්ථානයේ ප්‍රධාන වාහල්කඩින් විහාර භූමියට ඇතුළු වීමට නියමිතය.




පෙරහර වීථි සංචාරය ආරම්භ කිරීමත් සමඟ අදාළ මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. ක්‍රියාත්මක රථවාහන සැලැස්මට අනුව කිරිබත්ගොඩ ටයර් හන්දිය දෙසින් පැමිණෙන සියලුම රථවාහන නුන්ගන්ගොඩ හන්දියෙන් තොරණ හන්දිය දෙසට හරවා යැවීමට කටයුතු කරනු ලැබේ. එසේම බියගම මාර්ගයේ ගමන් ගන්නා වාහන රජමහා විහාරයේ බියගම පාර වාහල්කඩ අසලින් ගඟවේල්ල මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුමට යොමු කරන අතර, පෑලියගොඩ දෙසින් පැමිණෙන වාහන කැලණිසිරි වටරවුම හරහා ගඟවේල්ල මාර්ගයේ බියගම පාර වාහල්කඩ දෙසට යොමු කිරීමට නියමිතය.

පෙරහර ගමන් ගන්නා අවස්ථාවේදී කැලණිසිරි වටරවුමේ සිට විහාර මාවත දක්වා වූ මාර්ග කොටස සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇත. පෙරහරේ ඉදිරි කොටස විහාර මාවත හන්දිය වෙත ළඟා වන තෙක් මුල්ලේරියා - බියගම මාර්ගයේ බියගම දෙසට යන වාහන සඳහා පිටවීම පමණක් සිදු කිරීමට ඉඩ ලබා දේ. පෙරහරේ අවසන් කොටස වලන්කඩ ප්‍රදේශයෙන් විහාර මාවතට ඇතුළු වූ පසු, නුන්ගන්ගොඩ දෙසින් බියගම දෙසට ධාවනය වන වාහන සහ බියගම දෙසින් වරාගොඩ මාර්ගයට පිවිසෙන වාහන පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මුදා හැරීමට සැලසුම් කර ඇත.




මීට අමතරව පෑලියගොඩ පට්ටිය හන්දිය සහ නුවර පාර දෙසින් පැමිණ වරාගොඩ මාර්ගයට ඇතුළු වන වාහන තොරණ හන්දිය දෙසින් යොමු කිරීමට පියවර ගෙන තිබේ. බියගම මාර්ගයේ පැමිණෙන රථවාහන බස් නැවතුම්පොළ අසලින් හෝ විහාර මාවත හන්දිය හරහා වරාගොඩ දෙසට යොමු කෙරෙන අතර, පෙරහර කැලණිසිරි වටරවුම ආසන්නයට පැමිණීමත් සමඟ බියගම පාර වාහල්කඩ ඔස්සේ වාහන ඇතුළු වීම නතර කර මාර්ගය සාමාන්‍ය පරිදි සකස් කිරීමට පොලීසිය කටයුතු කරනු ඇත.

මෙම රථවාහන සැලැස්ම පිළිබඳව අවධානය යොමු කරමින් රියදුරන් සහ මහජනතාව පොලීසියට සහයෝගය ලබා දිය යුතු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දන්වා සිටී.