දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ විනාශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් කෝටි 3,100ක මුදලක් අවශ්‍ය බවට ඊයේ දිනයේ මාධ්‍ය කිහිපයක පළවූ පුවත් වාර්තා සත්‍ය නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සිදුවූ හානිය හෝ පශ්චාත් ආපදා කළමනාකරණය සඳහා වැය වන මුදල පිළිබඳව මෙතෙක් නිල වශයෙන් කිසිදු ඇස්තමේන්තු කිරීමක් සිදු කර නොමැති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරන්නේ, රජයේ අදාළ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන එක්ව මේ මොහොතේ ආපදා තත්ත්වය සහ සිදුවූ හානිය පිළිබඳ විධිමත් තක්සේරුවක් සිදු කරමින් පවතින බවයි. එබැවින් මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ඉහත සඳහන් මූල්‍ය සංඛ්‍යාලේඛන නිවැරදි නොවන බව රජය තහවුරු කරයි.
කෙසේ වෙතත්, මෙම තීරණාත්මක කාල වකවානුව තුළ ගංවතුර සහ නායයෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අමාත්‍යාංශය විසින් විශේෂ පියවරක් ගෙන තිබේ. ඒ අනුව, විපතට පත් පාර්ශව වෙත ආධාර සැපයීම සහ සන්නිවේදන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් විශේෂ හදිසි සම්බන්ධීකරණ ඒකකයක් මේ වන විටත් ස්ථාපිත කර ඇත. මේ අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අඛණ්ඩව මානුෂීය ආධාර සහ සහයෝගය ලැබෙමින් පවතින බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval