do-not-go-home-until-safety-is-assured-nbro

 ආපදාවට ලක්වූවන් තමන්ගේ නිවාස වෙත නැවත යා යුත්තේ එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව පමණක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට අවධාරණය කරයි. අදාළ දිස්ත්‍රික් කාර්යාලවල නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදුකර, නිගමන ලබාදෙන තුරු ඉවසිලිවන්තව ආරක්ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙස එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ඉල්ලා සිටියි.



අධික වර්ෂාව හේතුවෙන් පස් තට්ටු ජලයෙන් සංතෘප්ත වී ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළද නායයෑම්, ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීම් සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. මේ හේතුවෙන් දිස්ත්‍රික්ක හතකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැත්තෑවක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් සහ ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.




යම් හෙයකින් පොළොව අභ්‍යන්තරයෙන් අසාමාන්‍ය ශබ්ද ඇසීම හෝ ජල උල්පත් හදිසියේ ඇතිවීම හෝ නැතිවීම වැනි ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් එම ස්ථානවලින් වහාම ඉවත්වීමට කටයුතු කළ යුතු බව සේනාධීර මහතා පෙන්වා දෙයි. ගංවතුර අවදානමද තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බැවින් ජනතාව අඛණ්ඩව විමසිලිමත්ව සිටීම ඉතා වැදගත් වේ.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම, ගම්පහ සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මාර්ග රැසක් තවදුරටත් ජලයෙන් යටවී පවතින බවයි.