අනාගතය පිළිබඳ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන සිටි විසිතුන් හැවිරිදි තරුණියකගේ හදිසි වියෝව මේ වන විට මුළු රටම කම්පා කිරීමට සමත්ව තිබේ. මතුගම, ආදාගල පාරේ ඇතුළත්මුදලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි සඳමිණි දිව්‍යාංජලී නම් වූ ඇය, මතුගම ශ්‍රීලංගම ඩිපෝවේ පරිගණක දත්ත ක්‍රියාකරවන්නියක වන ඉරේෂා නිමන්ති මහත්මියගේ සහ වැවිලිකරුවකු වන ටී.ඒ. තුෂාර දිල්හාර මහතාගේ ආදරණීය දියණියයි.
ඇයට සිටියේ වයස අවුරුදු නවයක් වන තරිඳු පූර්ණ නම් පාසල් යන එකම සොහොයුරා පමණි. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා අධ්‍යාපනය ලැබූ මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ජාතික පාසලෙන් සිප්සතර හැදෑරු ඇය, පාසල් සමයේ ජනාධිපති බාලදක්ෂිකාවක ලෙසත්, පාසල් තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකාවක ලෙසත් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ තැනැත්තියකි. ව්‍යාපාර හා තොරතුරු කළමනාකරණ විද්‍යාවේදී උපාධිධාරිනියක වූ සඳමිණි කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරමින්,සති අන්තයේ ජපන් භාෂාව හදාරමින් අනාගතය සාර්ථක කර ගැනීමේ සිහිනයක නිරතව සිටියාය.
ඛේදවාචකයේ ආරම්භය සනිටුහන් වූයේ ඉකුත් 12 වැනිදා ඇය තමන්ට උණ ගතියක් දැනෙන බව දුරකථනයෙන් මවට දැනුම් දීමත් සමගය. මවගේ ඉල්ලීම මත මිතුරියක සමග නාවින්න ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගිය ඇයට ඩෙංගු රෝගය වැලඳී ඇති බව හඳුනාගත් වෛද්‍යවරයා වහාම රෝහල්ගත වන ලෙස උපදෙස් දී තිබිණි. ඒ අනුව එදින රාත්‍රී 8.00 ට පමණ ඇය අයි.ඩී.එච්. (IDH) රෝහලට ඇතුළත් කෙරුණේ වැඩිදුර ප්‍රතිකාර සඳහාය. වෛද්‍ය ප්‍රතිකාර හමුවේ ඇයගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබූ අතර, 14 වැනිදා පෙරවරුවේ ඇයව රෝහලෙන් පිටත් කර යැවීමට පවා වෛද්‍යවරුන් නිර්දේශ කර තිබූ බව පැවසේ.
කෙසේ වෙතත්, රෝහලෙන් පිටව යාමට සූදානමින් සිටියදී ඇයට වමනය යාමේ තත්ත්වයක් ඇති වී තිබේ. ඊට ප්‍රතිකාර ලෙස රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඇයට ඖෂධයක් ලබා දී ඇති අතර, ඉන් අනතුරුව ඇයට හදිසි සංකූලතා මතු වී ඇත. අපස්මාරය වැනි ලක්ෂණ පහළ වී සිහිසුන් වූ ඇයගේ සිරුරේ ක්‍රියාකාරීත්වය ක්ෂණිකව වෙනස් වී ඇති බවත්, වෛද්‍යවරුන් පවා විමතියට පත් කරමින් 14 වැනිදා උදෑසන 6.00 වන විට ඇය මෙලොව හැර ගිය බවත් වාර්තා වේ.
දිනක් ඇතුළත සුවය ලබා නිවසට ඒමට සිටි දියණියගේ නිසල දේහය දැකීමෙන් දෙමාපියන් දැඩි සේ කම්පනයට පත්ව සිටිති.
මෙම මරණයත් සමග බරපතළ සැකයක් මතුව ඇත්තේ ඇය මියගියේ ඩෙංගු රක්තපාත තත්ත්වය නිසාද, නැතහොත් ලබාදුන් එන්නතක් විෂ වීමෙන්ද යන්න පිළිබඳවයි. රෝහල් ආරංචි මාර්ගවලට අනුව ඇයට ලබා දී ඇත්තේ 'Ondansetron' නම් එන්නත බව කියැවේ. විශේෂ කරුණ නම්, මහනුවර ජාතික රෝහලේ වාර්තාවකට අනුව මෙම එන්නත 12 වැනිදාට පෙර සිටම රෝහල්වලින් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) තීරණය කර තිබීමයි. භාවිතයෙන් ඉවත් කිරීමට නිර්දේශිත ඖෂධයක් සඳමිණිට ලබා දුන්නේ ද යන්න පිළිබඳව වෛද්‍ය සංගම් මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි.
මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම එන්නත ගෙන්වූ සමාගමට අදාළව 2024-2025 වසරවල ගෙන්වන ලද ඖෂධ වර්ග 10ක් රෝහල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. සඳමිණිගේ මරණයට හේතුව නිශ්චිතව සොයා බැලීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එහි වාර්තා ලැබීමට සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම සිදුවීමත් සමග 2023 වසරේ පේරාදෙණිය රෝහලේදී 'Ceftriaxone' ප්‍රතිජීවක එන්නත ලබා දීමෙන් පසු මියගිය චමෝදි සන්දීපනී තරුණියගේ මතකය ද යළි අලුත් වී තිබේ. එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් ද මේ මොහොතේ ජනතාවට සිහිපත් වේ. බාල ඖෂධ රෝහල් පද්ධතිය තුළ තවදුරටත් පවතින්නේ නම්, ඊළඟට බිලිගන්නේ කාගේ ජීවිතයක්ද යන බිය ජනතාව තුළ තවමත් ඉතිරිව පවතී. සඳමිණිගේ වියෝව සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු විය යුතු බව ඇයගේ පවුලේ අය මෙන්ම රටේ ජනතාව ද බලාපොරොත්තුවෙන් සිටිති.
Comments
Post a Comment
Your comment will be visible after approval