ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න අලාභයක් සිදු කිරීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් එම සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (15) නියෝග කළේය.
2017 සහ 2018 වර්ෂවලදී ඉන්ධන මිලදී ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීර්ඝකාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර, ඊට වඩා වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් (Spot Tenders) ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තුළින් රජයට මෙම විශාල මූල්‍ය පාඩුව සිදු කර ඇති බවට හිටපු සභාපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ධම්මික රණතුංග මහතා ඊයේ පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, එහිදී ලබා ගත් ප්‍රකාශවලින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන එදිනම පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබිණි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා විමර්ශන කටයුතු සඳහා පූර්ණ සහාය ලබා දෙන බැවින් ඇප පනත ප්‍රකාරව ඔහුව මුදා හරින ලෙස ඉල්ලීමක් කළේය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර, ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසටත් දැඩි කොන්දේසි පැනවීමට කටයුතු කළේය.
සිද්ධියට අදාළව කරුණු දැක්වූ අල්ලස් කොමිසම, එවකට විෂය භාර අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග මහතා මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කරන බව අධිකරණයට දැනුම් දුන් අතර, ඔහු මේ වන විට විදේශගතව සිටින බැවින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව ද සඳහන් කළේය.
තවද මෙම දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් ධම්මික රණතුංග මහතා පළමු සැකකරු ලෙසත්, අර්ජුන රණතුංග මහතා දෙවන සැකකරු ලෙසත් නම් කර ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව අල්ලස් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය.