complaint-filed-against-mp-who-forced-himself-into-married-womans-car

 නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයක් අසල නවතා තිබූ මෝටර් රථයක සිටි විවාහක කාන්තාවකගේ රථයට බලහත්කාරයෙන් ගොඩවූ බව කියන සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිව නාරාහේන්පිට පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.

පසුගිය 17 වැනිදා මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, පැමිණිල්ල සිදුකළ කාන්තාව කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන තැනැත්තියකි.


ඇය ව්‍යායාම මධ්‍යස්ථානයට පැමිණ තම මෝටර් රථයේ රියදුරු අසුනේ රැඳී සිටින අවස්ථාවේදී අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එතැනට පැමිණ රථයේ වීදුරුවට තට්ටු කර ඇය සමඟ කතා කිරීමට අවශ්‍ය බව පවසා තිබේ.

තමාට මන්ත්‍රීවරයා සමඟ කතා කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, කරදර නොකර පිටව යන ලෙසත් ඇය ඉල්ලා සිටියද, එය නොතැකූ මන්ත්‍රීවරයා රථයේ දොර විවෘත කරගෙන බලහත්කාරයෙන් රථය තුළ අසුන්ගෙන ඇත. මෙම අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් තමා දැඩි කම්පනයට පත් වූ බව අදාළ කාන්තාව පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත. "ඇයි මගෙත් එක්ක කතා කරන්නේ නැත්තේ" යනුවෙන් මන්ත්‍රීවරයා විමසූ අවස්ථාවේදී ද ඇය නැවතත් ඉල්ලා ඇත්තේ තමාට කරදර නොකර රථයෙන් බැස යන ලෙසයි. ඇයගේ දැඩි ඉල්ලීම හමුවේ අවසානයේ මන්ත්‍රීවරයා රථයෙන් බැස පිටව ගොස් තිබේ.




තම දරුවා සහ මන්ත්‍රීවරයාගේ දරුවන් එකම පාසලක අධ්‍යාපනය ලබන බැවින් ඔහුව හඳුනන බව පැමිණිලිකාරිය සඳහන් කර ඇත. මීට පෙර අවස්ථා කිහිපයකදී ද මන්ත්‍රීවරයා ඇයගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගෙන ඇති අතර, එම අංක අවහිර කිරීමට ඇය කටයුතු කර ඇති බවත්, පසුව වෙනත් අංකවලින් ඇමතුම් ලබා ගත් විට ඒවා ද අවහිර කළ බවත් ඇය පොලිසියට අනාවරණය කර තිබේ. මින් ඉදිරියට තමාට මෙවැනි හිරිහැර හෝ අපහසුතාවක් ඇති නොවන පරිදි අදාළ මන්ත්‍රීවරයා කැඳවා දැඩි ලෙස අවවාද කරන ලෙස ඇය පොලිසියෙන් ඉල්ලා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නාරාහේන්පිට පොලිසිය, පැමිණිල්ල විභාග කිරීම සඳහා අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ පැමිණිලිකාර කාන්තාව පොලිස් ස්ථානය වෙත කැඳවීමට කටයුතු යොදා ඇත.