chamal-rajapaksa-to-the-bribery-commission

 හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (01) දින පැමිණියේය. දැනට සිදු කෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා මෙලෙස කොමිෂන් සභාව වෙත වාර්තා කර ඇත.



පසුගිය 2022 වසරේ මැයි මස 09 වන දින ඇති වූ කලහකාරී තත්ත්වය අතරතුර සිදුවූ දේපළ හානි වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ සිද්ධියක් මුල් කරගනිමින් හිටපු කථානායකවරයා ඉදිරි දින කිහිපය ඇතුළත අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇති බව රජයේ පුවත්පතක් වන සිළුමිණ පුවත්පත මින් පෙර වාර්තා කර තිබුණි.




තිස්සමහාරාම, මාගම පිහිටි සිය නිවසට සහ දේපළවලට අලාභහානි සිදුවූ බව පවසමින් චමල් රාජපක්ෂ මහතා රජයෙන් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට (රු. මිලියන 15.2) අධික මුදලක් ඉල්ලා තිබුණද, අදාළ ඉඩම ඔහුට අයත් නොවන බවත් එහි කිසිදු නේවාසික ගොඩනැගිල්ලක් නොමැති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ. එහි පවතින්නේ වී ගබඩා කිරීමේ පහසුකමක් පමණක් බවද අනාවරණය වී ඇත.

අදාළ දේපළ තමන් සන්තකයේ පවතින බවට හිටපු අමාත්‍යවරයා විසින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුණද, වැඩිදුර සොයා බැලීමේදී එම ඉඩම වෙනත් අයෙකුගේ නමින් ලියාපදිංචි වී ඇති බව තහවුරු වී තිබේ. එසේ වුවද 2023 ජූලි මස නිකුත් කරන ලද තක්සේරු වාර්තාවක සඳහන්ව ඇත්තේ එම භූමියේ රුපියල් මිලියන 14.8ක් වටිනා නිවසක් සහ රුපියල් ලක්ෂ දෙකකට අධික හානියක් සිදුවූ ගබඩා කාමරයක් තිබූ බවයි.




රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මෙම සිද්ධියට අදාළව වන්දි ගෙවීම් සිදු කළ නොහැකි බව අදාළ බලධාරීන් වෙත දැනුම් දී තිබියදීත්, අදාළ සම්පූර්ණ මුදල ගෙවා ඇති බව වාර්තා වේ. මෙම රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාත්මක වී ඇති අතර, මෙම ගෙවීම් අනුමත කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.