කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපෑ දැඩි සුළං සහ වර්ෂා සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු විදුලි සැපයුම නැවත ලබා දීම සඳහා රාජකාරියේ නිරතව සිටි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය 03 වැනිදා දහවල් 12.45ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ බෝවත්ත සහ වීරපොකුණ මාර්ගයේ හානියට පත්ව තිබූ අධි වෝල්ටීයතා විදුලි රැහැන් පද්ධතියක් ප්‍රතිසංස්කරණය කිරීමට යාමේදීය.
විදුලි සැර වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් සේවකයා වහාම වීරපොකුණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා එතැනින් කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
රෝහල් දෙකෙහිම වෛද්‍ය කණ්ඩායම් ඔහුව බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරා තිබුණද, රෝහල් ගත කිරීමෙන් පැයකට පමණ පසු ඔහු මියගොස් තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වූ අනුරුද්ධ කුමාර නමැති රේඛීය කාර්මික ශිල්පියෙකි.
වර්ෂ 2007 දී තාවකාලික රේඛීය සේවකයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇති ඔහු, දශකයක සේවා කාලයකින් පසු 2017 වසරේදී ස්ථිර සේවයට අනුයුක්තව ඇති අතර උකුවෙල විදුලි උපපොළේ සේවය කර මෑතකදී හෙට්ටිපොළ විදුලි ඉංජිනේරු කාර්යාලය වෙත මාරුවී පැමිණි අයෙකි.
රටේ පවතින ආපදා තත්ත්වය හමුවේ ජනතාවට සේවය සැලසීමට ගොස් දිවි අහිමි වූ මෙම නිලධාරියාගේ සේවය අගය කරන බවත්, ඔහු වෙනුවෙන් සහ ඔහුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් ආයතනික මට්ටමින් සිදු කළ හැකි උපරිම සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval